Friday 27 March 2015

නෙළුම් යායෙන් ඇණ ගැනීම...

ඊයේ (2015-03-26) තිබ්බ බ්ලොග් ලියන්නන්ගේ සම්මාන උළෙලට මමත් ගියා. එහෙම එකකට මම ගියේ පළවෙනි වතාවට...
එහෙන් මෙහෙන් දැකපු බෝඩ් කෑලි වලවත් අදාළ තැනට එන විදිහ හරියටම ගෙඩි පිටින් දාල නොතිබ්බ නිසා තැන හොයා ගන්න හිතාගෙන කෝල් එකක් ගත්තා රාජ් ලොක්කට. ඌ එහෙම එකක් තියෙනවා කියල දන්නෙවත් නැහැ, ඔය කියන තැන ගැන දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි මට කිව්වා “යන්න පුළුවන්නම් පලයන්, කට්ටිය අඳුන ගන්නත් පුළුවන් වෙයිනෙ” කියලා.

පස්සේ මට කල්පනා වුනා ඒ වෙද්දී ක.මි. එතනට ගිහින් ඇති බවත්, මිනිහගෙන් අහල බැලුවොත් තැන හොයා ගන්න පුළුවන් කියලත්. යන්තම් ක.මි. ට කෝල් කරලා තැන එහෙම අහගෙන එතනට යද්දී හවස 04:00 පහුවෙලා තියෙන්න ඇති. මම ටිකක් පරක්කු වෙන්න හේතු උනේ, ඔය කතා එහෙම මග ඇරලා බ්ලොග් වලින් කමෙන්ට් වලින් අඳුරගෙන ඉන්න සුන්දර මිනිස්සුන්ව ප්‍රායෝගිකව හමුවෙලා කතා කරන එකට මුල්තැන දෙන්න හිතාගෙන.

වන්කගිරියක් වගේ තිබ්බ දොරවල් කීපයකින් ඇතුළට ගිහින් බලද්දී, එතන හිටපු පිරිසක් “අර දොරෙන් ඇතුළට යන්න” කියල පෙන්නපු දොරෙන් ඇතුළට ගියා. ගියපු පරක්කුවෙන් මම ආපහු හැරිලා ආවේ මම ඇතුළට ගියේ වැරදි පැත්තේ තියෙන දොරකින් කියන සිතුවිල්ල නිසා. ඒ දොරෙන් ගියාම මාව  කෙළින්ම යැවුනේ ස්ටේජ් එක පිටිපස්සකට වගේ හරියකට. එළියට ඇවිත් ආපහු උන් සෙට් එකෙන්ම ඇහුවම කිව්වේ “මෙතන පොඩ්ඩක් වෙනස් විදිහට තියෙන්නේ, ස්ටේජ් එක අයින දිගේ ගිහින් පිටිපස්සට යන්න ඇහැකි” කියලා.

ඒ අවට සහ හමුව පැවතුන කොටස දිහා බැලුවම හිතා ගන්න පුළුවන් කවුරු නමුත් නමගිය හොඳ වෘත්තීයවෙදියෙක්ගේ ඩිසයින් වැඩක්ය කියලා.
ඒ කුරුබිලිය දිගේ ඇතුළට ගිහින් පිටිපස්සට යද්දී ක.මි. මාව දැකලා අත වනලා කතා කලා. මිනිහ හිටියේ දෙවෙනි පේළියේ. ඒ පේළියේ සීට් දහ පහළවක් තිබ්බට දෙපැත්තේ කොන් දෙකේ කීප දෙනෙක් වාඩිවෙලා ඉන්න නිසා ඇතුළේ සීට් වලට වෙන කෙනෙකුට යන්න බැහැ. ඒ තරමට සීට් අතරේ ඉඩ. ඒ නිසා තනියම වාඩිවුණා ඉස්සරහ පේළියේ. ඒ පුටු පේළිය, ඒ ශ්‍රවණාගාරය වගේ එක ඩිසයින් කරපු එකා වෙන්න ඕනේ අපි පොඩි කාලේ අහල තිබ්බ “ලබ්බේ තොවිලේ” කියන කතාව නිර්මාණය කරන්න ඇත්තේ කියල මට හිතුනා.

එතනට ගිහින් ටික වෙලාවක් යනකල් එතන වෙන්නේ මොනවද කතා කරන්නේ මොනවා ගැනද කියන එක ගැන මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ.
ටික වෙලාවකට පස්සේ කරුණාරත්න පරණවිතාන කියන මහත්තයා කතා කරන්න ස්ටේජ් එකට ගොඩ වුනා. මෙන්න වැඩේ කැමරා අතින් කටින් එල්ල ගත්තු පොරවල් සෙට් එකක් උඩ ඉඳල පහළට බැස්සා.

ඒ එක මනුස්සයෙක් කැමරාව අරගෙන එහා මෙහා යද්දී ස්ටේජ් එක ඉස්සරහදි නිකං බඩගාගෙන යනවා වගේ නැමීගෙන තමයි ගියේ.  ඔන්න මගේ මීටරේ හිමීට වැඩ කරන්න ගත්තා. ස්ටේජ් එකේ හයි කරලා තියෙන එක එක TV චැනල් වල මයික් ටික මුලින්ම දැක්කා. ඊට පස්සේ හොරාට හැරිලා බැලුවම දැක්කා හෙන සෙට් එකක් වීඩියෝ කැමරා අටෝගෙන ඉන්නවා කියන එකත්. මම ස්ටේජ් එක ඉස්සරහින් කිසි ගාණක් නැතුව ආපු හැටිත් මතක් වුනා. මේක ටිකක් බරපතල රාජකාරියක් බව මට තේරුනේ ඒ වෙලාවේ.

කතාව යන අතරේදී හෝ එක ඉවර උනාට පස්සෙද මන්ද ටිකක් වයසක පහේ මනුස්සයෙක් ශාලාවට ආපු බවත් මම හිටපු පේළියේම වාඩි වෙච්ච බවත් මම දැක්කේ ඇස් කොණින් වගේ.
කතාව ඉවර වුනාට පස්සේ එක්කෝ ස්ටේජ් එක උඩ යක්කු නැටුවා, එහෙම නැත්නම් තෑගී බෝග දුන්නට පස්සේ යක්කු නැටුවා. ඒවා සිද්ධ වෙච්ච පිළිවෙල මතක නැතත් එහෙම දෙයක් සිද්ධ වුනා. කොහොම නමුත් ඒ නැටිල්ලනම් මට ඒ තරම්ම දිරෙව්වෙ නැහැ.

තෑගී දෙන්න ගිය වෙලාවේ කියවුනේ කරූ ජයසුරිය මහත්තයට වේදිකාවට ගොඩවෙන්න කියල. මෙන්න ඒ ගමන අර වයසක පහේ මනුස්සයා වේදිකාවට ගොඩ වුනා. එතුමාගේ නම කිව්වේ නැත්නම් මම ඔහුව අඳුන ගත්නේ නැහැ.
හේතුව කියන්න දන්නෙ නැති නිසා “ඇයි ඒ වගේ ප්‍රසිද්ධ මනුස්සයෙක්ව වත් අඳුන ගන්නවත් බැරිද” කියන ප්‍රශ්නේ මගෙන් අහන්න එපා.
එතුමා නැගල මුළින්ම කතාවක් කලා.(එහෙම තමයි මතක) කතාවෙන්වත් පෙනුමෙන්වත් මම ඔහුව හැඳින්නේ නැහැ. ඒ වගේම ඒ කතාවෙවත් අපි හිටියේ නැහැ. ඊට පස්සේ වෙන්න ඕනේ තෑගී ටික බෙදල දුන්නේ.
තෑගී බෙදන වෙලාවේ අඩුවක් නැතුව අපේ මාධ්‍ය කලාවේ පශ්තාත්බාගය දැකගන්නත් මට පුළුවන් වුනා. මම විතරක් නෙමේ මගේ පිටිපස්ස පේලියේ වාඩිවෙලා හිටපු ක.මි. ඇතුළු පිරිසටත් ඒ භාග්‍යය අඩු නැතුවම උදා වුනා මම හිතන්නේ.
තමන්ගේ කැමරා එකේ ෆොටෝ කෑලි ටික අල්ලගන්න පොරකාපු සමහරුන්ගේ ශරීර කොටස් වෙනත් අයගේ කැමරා වල සටහන් වෙනවා මම බලාගෙන හිටියා. එහෙම වෙච්ච කෙනෙක් ටිකක් මුණ ඇඹුල් කරගෙන හිටපු හැටි දැක්කම මට හිත ඇතුළෙන් පොඩි හිනාවකුත් ගියා.

සම්මාන, තෑගී දුන්නට පස්සේ මාධ්‍යවේදියෙක් කියල හඳුන්වපු කෙනෙකුට වෙනම තෑග්ගක් දුන්නා. එයාගේ Voice Recorder එක එයාගේ මාධ්‍ය සගයෙක් හරි, කවුරුහරි එකට හිටපු කෙනෙක් කොහේදෝ අමාත්‍යංශයකදී හොරකං කරපු නිසා ඒ වෙනුවෙන් ලබා දෙන අළුත් එකක්ලු.
ඒ පාර ඒ මනුස්සයත් කතාවක් කරන්න පටන් ගත්තා. සමහර විට මට හරියට මතක නැද්ද කියන්නත් බැහැ. තෑග්ග දීපු අයට ස්තුති කරන බවක් මම දැක්කේ නැහැ, ඒ මනුස්සයා ස්තුති කලේ පරණ එක උස්සපු උන්ට. ඒ තමුන්ට මේ අළුත් රෙකෝඩර් එක ලැබුනේ ඒ අය නිසාය කියලා. ඒ ගමන් දේශපාලන තැටියකුත් වාදනය වුනා.

එයාගේ  කතාවේ බ්ලොග් ලිවිල්ලට අදාළව මට වැදගත් දෙයක් විදිහට තේරුණේ “හරියට සිංහල ලියපියව්” කියල බ්ලොග් කාරයින්ගෙන් ඉල්ලීමක් කරලා ඒ සඳහා පොතක් නිර්දේශ කිරීම පමණයි. ඒක ඇත්ත, බ්ලොග් වල භාෂාව, ව්‍යාකරණ වල දෝෂ සෑහෙන තිබෙනවා. ඒකට හේතුව විදිහට මම දකින්නේ බොහෝ බ්ලොග් රචකයින් ඒවා සිදු කරන්නේ රැකියාවක් වශයෙන් නොවීමත්, එය දෙවැනි ක්‍රියාවක් ලෙසින් සැළකමින් කරනා නිසා වෙන්නත් පුළුවන්.
(ඉඳහිට අයෙක් තමන්ගේ බ්ලොගය හරහා මුදලක් ඉපයිය හැකි වෙතත් ඔහු හෝ ඇයගේ යැපුම් මාර්ගය බ්ලොගය වීමට ඉඩක් තියෙන්න බැහැ. ලංකාව ඒ වගේ තැනක තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නැහැ.)

ඒ එක්කම මගේ ඔළුවට නිකං අකුණක් ගහනවා වගේ එක දෙයක් මතක් වුනා. අපිට බලන්න ලැබෙන පත්තර සියල්ලේම පාහේ ලිපි හෝ වෙනත් සටහන් ලියන්නෙ මේ අපි වගේ රස්සාවක් කරන ගමන් ආතල් එකට බ්ලොග් ලියන උදවිය නෙමෙයි නේද කියලා.

හරි ඔන්න දැන් තමයි යක්කු කීප දෙනෙක් ස්ටේජ් එකට ආවේ. ටික වෙලාවකින් දෙයියොත් ආව. කොහොමත් යක්කුයි දෙයියොයි දෙගොල්ලොම එකට ඉන්න බව අමුතුවෙන් කියල දෙන්න දෙයක් නැහැනේ. ඒ කොල්ලෝ කීප දෙනා අපිව හිනස්සන්න යම් උත්සාහයක් ගත්තා. ඔය කොයි රංගනයත් කරන්නේ ජීවිතය කියන නියම රඟමඩලේ තමන්ට අයත් රංගනය හරියාකාරව ගෙනියන්න බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ඒ මදිවට AC එකෙන් පට්ට සීතල හුළං පාරක් කෙළින්ම මගේ මුණට වදිනවත් එක්ක. AC එකේ outlet ටික (Fan Coil Unit) එක හයි කරලා තියෙන්නේ ස්ටේජ් එකේ යට කොටසේ. ඔහොම මෙහෙම ගිහින් මට තේරුණා තව කතා දෙකක් අහන්න මෙතන ලගින්න බැහැ කියලා. ඉස්සර ලෙක්චර් ගියාම නිදා ගන්න පුරුද්ද එක්ක මට මේ වගේ වාඩිවෙලා කතා අහන්න හරි අමාරුයි. කට දෙක වෙන්න ඈනුම් හැත්තෑ පහක් විතර යන්න ඇති ඒ හිටපු ටිකට.

මම හිතාගෙන හිටියේ මම එද්දී අනිත් කතා ටික ඉවරවෙලා, මේ අන්තිම කතාව වෙන්න ඇති කියල. ඇයි ඉතින් 02:00 නේ පටන් ගන්නවා කියල කිව්වේ. ශේප් එකේ කරුණු කාරණා හොයල බලද්දී දැනගන්න ලැබුනේ කරුණාරත්න මහත්තයට පස්සෙලු ඉතුරු කතා දෙක තියෙන්නේ. උත්සවේ පටන් අරගෙන තියෙන්නේ 03:00 ත් පහුවෙලා කියල දැන ගන්නත් ලැබුනා.
වෙලාව 05:45 වගේ වෙද්දී වගේ මම තීරණය කලා තවත් මෙතන ඉඳල තේරුමක් නැහැ කියලා. මම බලාපොරොත්තු වුන වැඩේ ඒ කියන්නේ ගැදරින් කියන එකට මෙතන ලොකු තැනක් ලැබෙන බවක් නැහැ කියලත් මගේ අක්මාවට තේරුණා. එහෙම දෙයක් උනත් වෙන්නේ ගොඩක් රෑ වෙලා වෙන්න ඕනේ.

බ්ලොග් සම්මාන උළෙලක් කිව්වට මේක මම හිතාගෙන ආපු වර්ගයේ ගැදරින් එකක් නෙමේ. එතන කෙරුණු කතා සහ පසුව එතනට ආපු දේශපාලන මුහුණුවරත් එක්ක අපි වගේ බ්ලොග් කාරයින්ට ඒ උත්සවය අදාළ නැහැ කියල මට තේරුණේ පස්සේ. පෞද්ගලිකව හඳුනාගත්තු බ්ලොග් කාරයෙක්, දෙන්නෙක් එක්ක පොඩ්ඩක් සෙට්වෙලා වචනයක් දෙකක් කතා කරන එක මීට වඩා සැපයි කියල තේරුම් ගත්තු මම ආපහු ඔය වගේ ලොකු ලොකු උත්සව වලට යන්නේ නැහැ කියල ඊයෙම තීරණය කලා.

ගෙදර කිට්ටුවට එද්දී මහ වැස්සක් වහින්න පටන් ගත්තා. සෑහෙන කාලෙකට පස්සේ කළින් ඕෆ් වෙලා තේරුමක් නැති ගමනක් යන්නේ නැතුව කළින්ම ගෙදර ගියානම්...

ප.ලි.
වැරදි වැඩකට වැරදි තැනකට ගිය එක සම්බන්ධ වැරදිකාරයා මමම බව මට තේරුණේ අද උදේ ආපහු ඇවිත් දේශකයා ගේ බ්ලොග් එකේ තිබ්බ දැන්වීම් ආපහු බලද්දී.
පහළ තියෙන දැන්වීමේ රවුම් කරලා තියෙන කොටස් ටික බැලුවම ඒක තේරේවි...
“ජයග්‍රහණයේ කොටස් කරුවන්ට උපහාර පුදනු ලැබේ...”  මේ කොටස දැක්කට හරියට තේරුම් ගත්තනම් නාස්ති වෙච්ච මගේ කාලය ගැන දුක් නොවෙන්න ඉඩ තිබ්බා. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක කියා කියන්නට ඇත්තේද මම වගේම ඇණගත්තු එකෙක් වෙන්න ඇති.
“වැඩ ගොඩයි, කතා ටිකයි, සාජ්ජය ලොකුයි” කියලත් ඒ දැන්වීම් වලම තිබ්බා...
මෙන්න මේ විදිහටම...
උපුටා ගත්තේ මෙතනින්...

Thursday 26 March 2015

රහතන්ගල වෙහෙරගල චාරිකාව - වෙහෙරගල බලා... Weheragala

මෙන්න දෙවෙනි කොටස...  බැලුවේ නැත්නම් බලලම එන්ඩලා...

පහුවෙනිදා උදෙන් ඇහැරෙද්දි උදේ 06:00 වෙන්න ඇති ඕනෙනම්. කට්ටිය ලකලැස්ති වෙලා ඇවිත් පාතරාසයට වග කිව්වේ කැම්පස් එකේ කැන්ටිමෙන්. කාල ඉවරවෙලා බඩු මුට්ටු ටිකත් පොදි බැඳගෙන බස් එකට දාගෙන පිටත් වෙද්දී වෙලාව උදේ 08:00 විතර උනා. අපේ සත්කාරකයෙක් වෙච්චි චමිතත් අපි එක්ක වෙහෙරගල යන්න එක්කාසු උනා.
බුත්තලින් පිටත් වීමට පෙර...


අපේ කොට්ස් හොඳ ගිටාර් වාදකයා, ඌ එන ගමන් ගිටාර් කොටේකුත් අරගෙන ඇවිත් තිබ්බා. මුලින්ම අපි එද්දී ඒකෙන් පොඩි වැඩක් අරගත්තට රහතන්ගල නැගපු දවසේ ඒවයෙන් වැඩක් උනේ නැහැ. ඔන්න දැන් වෙලාව හරි. වෙහෙරගල යන්න ටිකක් දුර යන්න වෙනවා. ඒ වගේම දැන් අපි ඉන්නෙත් හොඳට කාල බඩකට පුරෝගෙන. ඒ වගේම හොඳට සිංදු කියන්නත් පුළුවන් වෙලාවක. බුත්තල කැම්පස් එකෙන් එළියට ආපු වෙලාවේ ඉඳලම සින්දු පටන් ගත්තා. සින්දු කියකිය ගියා කියල නැහැ වටපිට බලන්නත් අමතක කලේ නැහැ. වෙහෙරගලට යන්න කිලෝමීටර 35 ක් විතර තිබුනා කැම්පස් එකේ ඉඳල.
අපි මෙහෙම යන අතරමගදී කැහැටු අලි හිඟන්නෙකුත් දැක්කා. ඒ කොයි හරියෙදිද කියල ටක්කෙටම මතක නැතත් පාර අයිනේ තිබ්බ විදුලි වැටක් අයිනට වෙලා තමයි ඒකා උන්නේ. ඉටි කොළයක් එලාගෙන, හිස් ටින් එකක් ළඟ තියාගෙන නොහිටියට ඌ හිටියේ හිඟා කන්න. මටනම් එවුන්ව දැක්කම මළ පනිනවා. ඒ ඌත් එක්ක නෙමෙයි, උන්ට කෑම දීල ඒ වැඩේට හුරු කරන මිනිස්සුත් එක්ක. මිනිස්සුන්ගේ තියෙන මෝඩ කමට උන්ට කෑම බීම දෙන නිසා උන් උදේ පාන්දර වෙද්දීම වැට අයිනට එනවා මොනවහරි හිඟා කන්න බලාගෙන. ඒකෙන් වෙන්නේ උන්ගේ සාමාන්‍ය අලි ජිවිතයට ලොකු බලපෑමක් එල්ල වෙන එක. මේ විදිහට වැඩිම හිඟන අලි ඉන්නේ උඩවලවේ. අපි අමතක නොකළයුතු වැදගත්ම කාරණය තමයි ඒ කැලේ ඉන්න වල් අලි බව, අළුත් විදිහ අනුවනම් වන අලි. මටනම් ඒ අළුත් හුච්ච්ක්කුව දිරවන්නේ නැහැ.
ඉඳිකොළ වැව...
මෙතනින් පස්සේ අපි යාල බ්ලොක් පහේ තියෙන ගේට්ටුවක් වගේ තැනකින් කැලේ ඇතුළට ඇතුල් උනා. පොඩ්ඩක් දුරට ආවට පස්සේ ලස්සන පොඩි වැවක් ගාව නතර වෙන්න තීරණය කලා. වනෝද්‍යානයක් ඇතුලේ වාහනේකින් බහින එක තහනම් සහ නොකළ යුතු දෙයක් උනත් අපි ඒ වැව ගාව බැස්සා. යන එන පාර අයිනෙම තිබ්බ නිසාත් ඒ වෙද්දී වෙහෙරගල ව්‍යාපෘතියට අදාළ රථ වාහන ගමනාගමනයක් සිදුවන නිසාත් ඒ තරම් ගැටළුවක් නොමැති බවක් තමයි අපි හිතුවේ.

මේ වැවේ නම ඉඳිකොළ වැව. ඒ වැවේ නම පළවෙනි වතාවට මම ඇහුවේ එදා. ඒ කියන්නේ 2006-04-30 වෙනිදා. අදටත් මට ඒ නම හොඳට මතකයේ රැඳිලා තියෙන්නේ ඒ අවට තිබ්බ සුන්දරත්වය නිසා වෙන්න ඇති. එතැනදී අපි සමනල්ලු කීප දෙනෙක්, කුරුළු වර්ග කිහිපයක් සහ ඇදගෙන වැටිලා තිබ්බ ගහක හැදිලා තියෙන ලස්සන කැලෑ ඕකිඩ් මල් පොකුරකුත් දැක ගත්තා. එතැන ටික වෙලාවක් ගත කරපු අපි බස් එකේ නැගල වෙහෙරගල දිහට යන්න පිටත් උනා. මේ වෙහෙරගල ප්‍රොජෙක්ට් එක බලන්න යන ගමන සෙට් උනේ මෙන්න මේ විදිහට. අපේ පහල බැච් එකේ උන්නු කුරූ ට්‍රේනින් උන්නේ ඒ ප්‍රොජෙක්ට් එකේ. උගේ අනුග්‍රහයෙන් තමයි අපි ඒ ගමන ගියේ. ඌ ට්‍රේනින් යන්න කලියෙන් මස් මාළු කිසි දෙයක් කාපු එකෙක් එහෙම නෙමේ. ඒත් ප්‍රොජෙක්ට් වල ජිවිතේ අනුව එහෙම ජීවත් වෙන්න බැරි නිසා අපි එහෙ යන කාලේ වෙද්දී ගේ නිර්මාංශ ජීවිතේට සමු දීලා හිටියේ.
අපි ප්‍රොජෙක්ට් එක කෙරෙන තැනට යද්දී එතන එක විකාරයයි. කැලේ මැද්දේ මහ විශාල ප්‍රදේශයක් එළිපෙහෙළි කරලා ගස් කපල දාල, පත ගැඹුරු කාණුවක් වගේ එකක් කපල, සමහර තැන්වල කොන්ක්‍රීට් දාල. හෝ ගාල වැඩ. පොඩ්ඩක් ඒ දිහා බැලුවට පස්සේ මටනම්  ඒ බැලිල්ල ඇති උනා.










වෙහෙරගල ප්‍රොජෙක්ට් එක හදන්නේ ලුණුගම්වෙහෙර ජලාශයේ ජල හිඟයට විසඳුමක් විදිහට කියන එකත් අපිට දැනගන්න ලැබුනා. මෙතැනදී ඇත්තටම අපිට පරිසරය සම්බන්ධ දේවල් වලට වඩා වැඩිපුර බලාගන්න ඕනෙකම තිබ්බේ ඒ මහා ව්‍යාපෘතියේ වැඩ කෙරෙන විදිහ. සයිට් එකේ වැඩිපුර වැඩ කරපු ගස් කොළන් කපපු තැන් වල තිබ්බේ පුදුම අව් රස්නයක්. සයිට් එකේ අයිනකට වෙන්න තිබ්බ මැණික් ගඟ අවට පරිසරය හරි සුන්දරයි. ගඟ ගාව නතර කරලා තිබ්බ බැරල් වලින් හදල තිබ්බ පොඩි පාරුව වගේ එකේ නැගල එහා මෙහාටත් ගියා. එතන තිබ්බ සිසිලත් එක්ක අපේ උන් එතනට වෙලා පොඩි විවේකයක් ගන්න අමතක කලෙත් නැහැ.
මැණික් ගං දෑල...


බැරල් පහුර...

විවේකයෙන්...
වෙලාව දවල් එක එකහමාර වගේ වෙද්දී කට්ටියට හොඳ ගණන්. මේ ප්‍රොජෙක්ට් එක කලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්. ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන සැළකිය යුතු වැඩ කොටසක් සිදුකරලා තිබුණත් හරි හැටි පහසුකමක් තියෙන ඔෆිස් ගොඩනැගිල්ලක් එහෙම තිබුනෙත් නැහැ. යන්තම් අටව ගත්තු පොඩි ඔපිසියකුයි, ස්ටෝරුවක් වගේ තිබ්බ තැනකුයි නම් තිබුනා. අපි එතනට යද්දී අපි වෙනුවෙන් බත් පාර්සල් වගයක් පොඩි මේස කෑල්ලක් උඩ බලාගෙන ඉන්නවා. ඉඩ තිබ්බ විදිහට තැන්තැන් වල වාඩිවෙලා බත් පාර්සල් ටික දිග ඇරගත්තා. ඒ බත් පාර්සල් ගෙනාවේ කඩේකින්ද කොහෙන්ද කින්ද මන්ද කියල මට මතක නැහැ. මතක තියෙන එකම දේ බත් එක මෙලෝ රහක් නැහැ කියන එක විතරයි.

කුරූ ලාගේ ඔෆිසියක්... අපි බත් කෑවේ මෙතනදීය
මෙතන තවත් ටික වෙලාවක් ගත කරපු අපි වෙහෙරගලින් සමු ගත්තා. එතනින් පස්සේ කතරගම ටවුන් එකෙත් ටික වෙලාවක් ඉඳලා කොළඹ බලා පිටත් උනා.
මේ ගමනින් පටන් ගත්තු කුරුල්ලෝ පස්සේ එළවිල්ල උණක් මට්ටමට වැඩි දියුණු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒක හොඳටම උග්‍ර උනේ අපේ කැම්පස් එකේ WUS එකෙන් හැම අවුරුද්දෙම සංවිධානය කරන “සිංහරාජ වැඩමුළුවට” සහභාගී උනාට පස්සේ.  දවස් හයක් සිංහරාජේ ඉඳලා කරපු එක එක අධ්‍යයන කටයුතු, නිරීක්ෂණ සෑහෙන වැදගත් උනා. රාජකාරි කටයුතු වලදී පවා පරිසරය වෙනුවෙන් හැකි අයුරින් පෙනී ඉන්න ඕනේ කියන අදහස මගේ ඔළුවට ආවේ එතනින් පස්සේ. ඒ වැඩමුළුවේ හොඳම රිපෝට් එක උනේ මම ලියපු රිපෝට් එක.

ඊට පස්සේ වතාවේ අපි ගියේ බුන්දල. ඒ ගමන ගියේ දහ දෙනයි. ඒ කතාව වෙනම කියන්නම්කෝ. බුන්දල යද්දිනම් මම අපේ ලොකු මස්සිනාගේ කැඩිච්ච කැමරා එකක් ආපහු හදාගෙන අරගෙන ගියා. ඒත් ගමනේ බාගයක් යද්දී ඒ කැමරාව ආපහු කැඩුනා. කුරුල්ලෝ ලක්ෂ ගාණක් හිටපු බුන්දල කලපුවේ ෆොටෝ ගහගන්න බැරි වෙච්ච එක ගැන මට අදටත් දුකයි. ඊට පස්සේ කවදාවත් බුන්දල කලපුවේ ඒ තරම් කුරුල්ලෝ හිටියේ නැහැ.
අර කැමරාව ආපහු හදා ගත්තට ආයෙත් වතාවක් කැඩුනා. ඊටත් පස්සේ තමයි Digital SLR කැමරා එකක් ගන්න ඕනේ කියන අදහස ඔළුවට ඇවිත් හැකි ඉක්මණින් ඒක ක්‍රියාත්මක කලේ.

කුරූ ට්‍රේනින් ඉවරවෙලා රස්සාව කලෙත් එතන.වෙහෙරගල වැව හදල ඉවර උනාට පස්සෙ කීප වතාවක්ම මම එහේ ගියා. දවස් ගණන් වාරිමාර්ග එකේ කුරූ ල වැඩ කරපු තැන (නිදා ගන්නේ උයාගෙන කන්නේ බොන්නෙත් එතනම තමයි) නතරවෙලා ඒ අවට තිබ්බ සුන්දරත්වය හැකි උපරිමයෙන් කැමරා එකේ සටහන් කර ගත්තා. වෙහෙරගල වැව යාල බ්ලොක් 5 සහ ලුණුගම්වෙහෙර කියන වනෝද්‍යාන දෙකටම අයත්. කළින් ප්‍රොජෙක්ට් එක කරද්දී තිබ්බ ආලපාළු ගතිය වගේ නෙමෙයි, දැන් එතන හරි සුන්දරයි. මිනිස්සුන්ට සල්ලි ගෙවල නතරවෙන්න පුළුවන් බංගලාවකුත් වැව් ඉස්මත්තේ හදල තියෙනවා වනජීවී එකෙන්.
මෙන්න මේ කොල පාට ගොඩනැගිල්ල තමයි කුරූ ගේ පසු කාලින ඔෆිසිය, කුස්සිය සහ නවාතැන උනේ...
මම ගිහින් ලගා ගහන්නේ ඔකේ උඩ තට්ටුවේ...
එහා පැත්තේ කන්ද උඩින් පේන්නේ වනජීවී එකේ බංගලාව
වෙහෙරගල ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරපු මුදලෙන් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් අවසානයේදී ඉතුරුවෙලා තිබුනා. එහෙම සල්ලි ඉතුරු වෙච්චි එක ව්‍යාපෘතිය භාරව කටයුතු කරපු ඉංජිනේරු මහත්තයට ලොකු ගැටළුවක් උනා. එහෙම වෙන්න හේතු කියල නිදහසට කරුණු කියන්නත් සිද්ධ උනා. එතැනදී එහෙම ප්‍රශ්ණ නගපු එක සාධාරණ නැහැ කියල ගොඩ දෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඔවුන් නියමිත තත්ත්වය පවත්වා ගන්නේ නැතිව එම ඉදිකිරිම සිදු කලාද යන්න සොයා බලන්නත් එක්ක තමයි ඒ පරීක්ෂණ කටයුතු සිදු කරලා තිබුනේ. සමහර විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ යටි අරමුණ වෙන්න ඇත්තේ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒවා වැඩක් නෑ...
ඔවුන් එසේ මුදල් ඉතිරි කරගෙන තිබුනේ හරි සරළ ක්‍රමේකට. පස් කපන යන්ත්‍ර සහ පස් අදින ටිපර් වලින් සිදුකරන ප්‍රකට වංචාවක් සිදුකිරීමේ මග ඔවුන් විසින් අහුරලා දමල තිබුනා. මේ ප්‍රොජෙක්ට් එක තිබුනේ කැලේ මැද්දේ නිසා සේවක මහත්වරුන් වටපිටාවේ මිනිස්සු එක්ක එක්කාසු වෙලා කරන හොරකං ටිකත් ඉබේම නතර වෙනවා. වාහන එළියට ගෙනියන්න අපහසු නිසා ඩීසල් හොරකමත් සිද්ධ වෙන්නේ අඩුවෙන්. ඒ සියල්ල ඔවුන්ට වාසියක් උනා.
මේ තියෙන්නේ අළුත්වැඩියා කරමින් පැවතුනු චෛත්‍යයක්...
පස්සේ තීරණය උනේ ඒ ඉතුරු මුදල් වලින් වෙහෙරගල අවට කැලේ තියෙන ගරා වැටුණු එහෙමත් නැත්නම් නිධන් හොරුන් විසින් විනාශ කරපු පැරණි චෛත්‍යය අළුත්වැඩියා කරන්න යොදවන්න කියලා.  මම පස්සේ කාලෙක ගියාම එහෙම තැනකටත් යන්න හැකියාව ලැබුනා.
මේ තියෙන්නේ වෙහෙරගල දැන් පෙනුම. මම ගියපු දවසේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල ගියපු නිසා වාන් දොරටු විවෘත කිරීම අරඹමින්...
ඒකෙ පුදුම වෙන්න දේකුත් නැහැ, මම සෞදියට ගොඩ බැහැපු දවසෙත් වැස්ස එකේ.
ජලාශය...
පළමු වතාවට වාන් දොරටු හයෙන් පහක්ම විවෘත කල වෙහෙරගල...

මේ එදා අපේ උන් මැණික් ගඟේ තිබ්බ බැරල් පහුරේ නැගලා එහා මෙහා ගියපු තැනට ආසන්න තැනක්...

මෙතනින් පහළ තියෙන්නේ වෙහෙරගල ආසන්නයේ සහ ලුණුගම්වෙහෙර දී මම ගත්තු ජායාරුප...









රහතන්ගල හරහා වෙහෙරගල ආපු ගමන එතනින් අවසන්... එදා පටන් ගත්තු ගමන ඉදිරියට ගලාගෙන ගිය හැටි සැරින් සැරේ ලියන්නම්.
මේ වතාවේ ෆොටෝ වැඩියි කියල බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ... හෙහ්

Friday 20 March 2015

රහතන්ගල වෙහෙරගල චාරිකාව - යුදඟනාව වැව් සිසිලේ...

පළවෙනි කොටස බැලුවේ නැත්නම් බලලම එන්ඩෝ...

රහතන්ගල පාමුල විහාරය
මහ විශාල වැවක් නොවුන යුදඟනාව වැව අවට පරිසරය හරිම සුන්දරයි. වටපිටාවේ ගෙවල් දොරවල් පේන්න තිබුනෙත් නැහැ. මිනිස්සු කවුරුවත් හිටියෙත් නැහැ. පුදුම නිස්කලංක තැනක්. සරු කුඹුරු යායක් වැව පහළින් තිබුනා. ඊටත් එපිටින් ගොඩ ඉඩමක පොල් ගස්, කිතුල් ගස් සහ වෙනත් ගොඩ හැදෙන ගස් වලින් පිරිච්ච රුප්පාවක්. වැව් බැම්ම දිගේ ඇවිදලා නියරවල් දිගේ හතර අතේ ඇවිදලා වටපිටාවේ සිරි නරඹලා එහෙම තමයි අපි වැවට බහින්න කප්පනා කලේ.
යුදඟනාව වැව බලා යමින්...

සුන්දර වෙල් යාය...



වැවට යමින්...


වැවට බැහැපු ගමන් පෙරා අත් දෙකෙන් මාළු අල්ලන්න හදනවා. මොන මාළුද. අඩු ගානේ බාල්දියක්වත් තිබ්බනම් දණ්ඩි පැටියෙක්වත් අල්ල ගන්න තිබ්බා. මාළු කිව්වම මතක් උනේ, ඉස්සර මගේ පර්ස් එකේ බිළී කොක්කකුයි තංගුස් පොටකුයි වරදින්නේ නැහැ. කෝටු කෑල්ලක්නම් ඉතිං ඕනේ ඇහැකින් හොයා ගන්න පුළුවන්නේ.

කැම්පස් ඉන්න කාලෙත් ඒක එහෙමමයි. දවසක් බෝට් යාඩ් එකේ පැය ගාණක් බිළී කොක්ක දාගෙන හිටියත් කිසිම වගතුවක් උනේ නැහැ. බලා ඉන්න බැරි තැන වස්සා දැඩි තීරණයක් අර ගත්තා. ඌ ගිහින් උන්ගේ බෝඩිමේ එදා හිටපු නැති තනියගේ මදුරු දැල ගලවගෙන ආවේ ඒකෙන්වත් මොනාහරි කරන්ට ඇහැක්ද බලන්න. තනිය කියන්නේ තනි අලියා වගේ සයිස් එකෙක්. ඌට මදුරුවෝ කෑවට දැනෙන්නේ නැති නිසාද කොහෙද නෙට් එක ගලවල තිබිල තියෙන්නේ. එදා ඉණ ගාවට බොල්ගොඩ ගඟේ මඩේ එරීගෙන මාළු ටිකකුයි ඉස්සෝ කීප දෙනෙකුයි අල්ලගෙන බාල්දියකට වතුර පුරවලා අරගෙන එද්දී වෙලාව මළ පාන්දර එකට විතර ඇති. අපි උන්ව අරගෙන ආවට කන්න හිතකුත් නැහැ. වස්සලගේ බෝඩිමට ගිහිං මාළු ටික බලද්දී උන් ටික සෙත්ත පෝච්චි වෙලා ඉවරයි. බාල්දියේ මාළු ඝණත්වය වැඩිවෙලා තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ කියල අපේ ටිකිරි මොළ වලට වැටහුනා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, ඉතුරු වැඩේට දැලක් හොයාගන්න එක තමයි කරන්න ඕනේ. ඒකත් කැම්පස් එකේ අයිනකින් හොයා ගත්තා. වටපිටාවෙන් දර කෑලි ටිකක්, පොල් අතු ටිකක් හොයාගෙන පුච්චපු මාළු ඒ කියන්නේ බාබකිව් වගේ එකක් හදාගෙන කාල බුදිය ගත්තා.
මේ ෆොටෝ එකේ පේන්න තියෙන ගල් දුපතට තමා අපි පීනුවේ...


අපි කීප දෙනෙක් වැව මැද්දේ තිබ්බ දුපතක් වගේ තිබ්බ මහ ගල් තලාවට පීනලා ගියා. එතන කෑම්ප් එකක් ගහන්න කියාපු තැන. කවුරුහරි එතන කෑම්ප් ගහපු බවක සටහන් ඉතිරි කරලා ගොහිල්ලත් තිබුනා. අපි එක්ක ඒ දුපතට පීනලා ගියේ එකම එක ගෑල් ළමයෙක් විතරයි. ඒ තමයි “ආන්ටි සූ”. පොළොන්නරුව පැත්තේ වැව් වල පීනලා පුරුදු ඒකි වගේ නෙමෙයි ඒකිගේ මනුස්පයා වෙච්ච ගෙම්බට (පෙරා) ඒකි එක්ක හැරෙන්නවත් බැහැ. ඌට පීනන්නම බැරිද කොහෙද. ඌ තව එකෙක් එක්ක සෙට්වෙලා දණ්ඩි පැටව් අල්ලන්න පුළුවන්ද කියල බලබල හිටිය.
ගෙම්බාගේ දන්ඩි මෙහෙයුම...
මෙතනදීත් පොඩි පොඩි සිද්ධියක් දෙකක් උනා අපේ කපල් අතරේ. දරුණු ඝණයේ ඒවා නොවුනත් මේ වගේ ගමනකදී ඒවා ටිකක් විතර අවුල්. කොහේ බැලුවත් දොඩම් කිව්වලු. ඔව්ව බලන් ඉන්න බැරුවද මන්ද අපි අර පුංචි දුපතට පීනලා යන්න ඇත්තේ.
මේ වගේ සිද්ධි සිද්ධ උනේ පළවෙනි වතාවට වෙන්න ඕනේ. ඒ බව අපේ අනිත් උන්ගේ මුණු වල අපුරුවට ලියවිලා තිබුනා. මුල් වතාවට ෆීල්ඩ් විසිට් ආපු අපේ කපල් එකක් දෙකක් තමයි මෙව්වට මුල පිරුවේ...

ඔව් ඔව් උඹල හිතපු දේ හරි... රූ සහ කොට්ස් ඩබලත් ඒවට හවුල්. එයින් එක කපල් එකකට ඊට පස්සේ අපි එක්ක ගමන් යන්න ලැබුනෙම නැහැ. එක්කෝ අපේ උන් උන්ව හැලුවා, එහෙම නැත්නම් උන් විසින්ම හැලෙන්න ඇති. රූ ත් ඊට පස්සේ ගමන් වලට ආවේ තනියම. කොට්ස් සහ රූ සම්බන්දෙ වැඩි කාලයක් නොගිහින් හබක් වෙලා ගියා. අපි ගොඩ දෙනෙක් ඒ ගැන සෑහෙන සතුටු උනා. කොට්ස් කියන්නේ ටැලන්ට්ස් බර ගාණක් තිබුණු අපි අතරේ හිටපු ගොඩක් විශේෂ චරිතයක්. රූ වගේ පිස්සු විකාර කෙල්ලෙක් නිසා උගේ ප්‍රතිරූපයට හානිවෙන බව අපි හැමෝටම තේරුම් ගිහින් තිබ්බ නිසා තමයි අපි ඒ ලව් එක නතරවෙලා කියල ආරංචි උනාම සතුටු උනේ.

අපි ඉස්සර වතුරකට බැස්සම කරන ලොකුම වැඩක් තමයි පිරමිඩයක් ගහන එක. අතපය උළුක්කු කරගෙන කොන්දේ අමාරු හදාගෙන මේකක් ගැහුවේ නැත්නම් ඉතිං රෑට නින්ද යන එකක් නැහැ. මේ තියෙන්න එදා අපි ගැහැව්ව පිරමිඩේ.


ඕව ගහන්න ගියාම මම, පෙරා එහෙම ගොඩ වෙලාවට බේස් එකට සෙට් වෙනවා. බේස් එකට සෙට් වෙනවා කියන්නේ හෙණ ගේමක්. අනිත් උන්ගේ බර උස්සගෙන ඉන්නත් ඕනේ, පොඩ්ඩක් හරි බැලන්ස් නැති උනාම උඩ ඉන්න එව්වෝ වැටෙන්නෙත් අපේ ඇඟවල් උඩට. ඔය කේස් කොච්චර තිබුණත් මම කවදාවත් බේස් එකෙන් උඩට ගිහින් නැහැ. ඒ කුණ කන්න තියෙන උපන් ගෙයි කරුමේ හෝ උරුමේ හින්දමද දන්නෙත් නැහැ.

මෙතන සෑහෙන වෙලාවක් ලගා ගහල පිස්සු නටල එහෙම අපි ආපහු කැම්පස් එකට යන්න පිටත් උනා. එහාට යද්දී වෙලාව හවස හයත් කිට්ටු වෙලා තිබුනේ. ඒ අවට අමුතු ලස්සනක් තිබුනේ ඉර බැහැගෙන එද්දී.
හිරු අවරට යමින්...





මාළු දැල් එළමින්...
එදා රෑ මොකක්දෝ මන්ද අපේ ගමන ගැනයි තව තව දේවල් ගැනයි කතා කරන්න සාකච්ජාවක් වගේ එකක් තියෙන කතාවකුත් වටින් ගොඩින් දැන ගන්න ලැබුනා. ඒ එක්කම වන්නී ඇවිත් මටයි පෙරාටයි රහසින් පොඩි පණිවිඩයක් කිව්වා.

ඔන්න වන්නි තමයි මේ විසිට් එකේ සංවිධායකයා. එක එක ගමන් සංවිධානය එක එක්කෙනා බාරගෙන කරන ක්‍රමයක් මෙවුන් අතරේ තිබුනේ. සංවිධායකයට තමයි කැම්පස් එකේ බස් කතා කර ගන්න එක, නවාතැන් පහසුකම් හොයා ගන්න එක, කෑම බීම සම්බන්ධ වගකීම් වගේ දේවල් ගැන සොයා බලන්න වෙනවා. ඒ වගේම අනිත් උනුත් සංවිධායකයා ඉල්ලන උදව්වක් දෙන්න අනිත් උදවියත් සැදී පැහැදී හිටියා(ලු). මේ ලු දැම්මේ ඇයි දන්නවද. මම කවදාවත් කැම්පස් කාලේදී මුන්ට මේ වැඩ වලට සප් කරලා නැහැ මේ වැඩ වලට. මට කරන්න වෙන වැඩ ඕනේ පදම් තිබ්බ නොවැ. මට කැලෑ උණ හැදුනේ සහ මම ට්‍රිප් සෙට් කරන්න ගත්තේ අවුට් උනාට පස්සේ. ඔන්න ඕකයි රහස...

දැන් මේ අපේ කැම්පස් එකේ බස් වල ඉන්න රියදුරු මහත්තුරුයි ගෝලයොයි ඉන්නවා නේද, උන් සමහර වෙලාවට ළමයි එක්ක ගමන් ගියාම ළමයින්ට ගෙම්බර් දාන වෙලාවල් තියෙනවා. ඒ නිසා උන්ව ශේප් එකේ තියා ගන්න පොඩි පොඩි දොළපිදේනි දෙන්න වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තිබ්බේ.

වතාවක අපි සුනාමි ආධාර විදිහට ගෙවල් වගයක් හදල දුන්න ඔන්න ඔය බලපිටිය කිට්ටුව දිහාක. අපි ගෙවල් හදල දුන්නේ සුනාමියෙන් ගෙවල් කැඩිච්ච කැම්පස් ළමයින්ට. අපි කළින් දවසෙම පාරේ බස් එකේ එහෙ ගිහින් පොඩි පොඩි පිස්සු ටිකක් එහෙම කෙළලා හරිහැටි නින්දකුත් නැතුව හිටියේ. ඒ ගෙවල් ජනසතු කරන අපේ පුංචි උත්සවේට කැම්පස් එකේ පොඩි එව්වෝ සෙට් එකකුත් අපි ගෙන්න ගත්තා කැම්පස් බස් එකකම නග්ගලා. ඇත්තම කිව්වොත් අපි එදා කලේ ඒ ගෙවල් ජනසතු කිරිල්ලක් නෙමෙයි “ළමයි සතු” කිරීමක්. පොඩි උන් ආපු බස් එකේම ආපහු කැම්පස් යන්න තමයි අපේ ප්ලෑන් එක උනේ. ඒ බස් එක එලෙව්වේ “සරත්” අයියා කියන රියදුරු මහත්තැන්. බස් එකේ උන්නු පොඩි බැච් වල කොල්ලෝ කෙල්ලෝ ටික රැල්ල පාගන්න බස් එක නතර කරන්න කියල කිව්වට මෙයැයි බස් එක නතර කලේම නැහැ. මාරු ආවේශ වෙලා වගේ කොළඹ දිහාට පිඹගෙන එනවා.

ඔය සමහර දේවල් තියෙනවා නේද කරවගන්න බැරි වගේ හිතෙන. ඒ වෙලාවට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ෂේප් න්‍යාය අනුගමනය කරලා ඒ ප්‍රශ්නෙට මැදිහත් නොවී ඉන්න එක. ඔය ගොඩක් පෙන්ෂන් ගිය පොලිස් මහත්තුරු කරන්නෙත් ඒකයි. මම දැන් වැඩ කරන තැන ඉන්න අපේ ඇඩ්ඩින් මැනේජර් මහත්තැනුත් එහෙව් කෙනෙක්. හිටපු SP මහත්තැන් කෙනෙක්. අපේ එකෙක්ව පොලිසියෙන් ඇල්ලුවා කියල හිතමු. මිනිහට කෝල් එකක් දීල විස්තරේ කිව්වොත් මිනිහ කියන්නේ “ආ... එහෙමද. එහෙනම් ටිකක් ඉඳලා දඩ කොලේ ලියාගෙනම වරෙන්, ඕකට ලොකු දඩයක් ගහන්නේ නැහැ බං” කියලා.

මමත් ඔය වගේ වෙලාවල් වල ඔය න්‍යාය පාවිච්චි කරලා නම්බුව බේරගන්න වෙලාවල් නැත්තෙම නැහැ. මේකත් ටිකක් ඒ වගේ වෙලාවක්. ඒ කිව්වේ මේ සුනාමි ගෙවල් බාර දීල ආපහු එන ගමන් ඇදිච්ච බස් කේස් එක. අපේ උන් සෙට් එක ඒ වෙද්දී ඇල්පිටියේ කුරුඳුගහ පැත්තේ යාළුවකුගේ ගෙදර ගාටලා කිතුල් ගහේ තනි අකුරෙන් පොඩ්ඩක් මෙව්වා වෙලත් එක්ක හිටියේ. ඒ එක්කම මට හිතුනා මු කියන විදිහට මු මේ බස් එක නවත්තන්නෙම නැහැ. ඒ නිසා මේකට අත දාන්න හොඳ නැහැ කියලා. එහෙම හිතලා සීට් එකක වාඩිවෙලා හොඳ නින්දක් දාන්න පටන් ගත්තා. කළින් දවසේ හරිහැටි නින්දකුත් නැහැනේ.

මම නිදා ගන්න යද්දී මේ ගැන හොඳටම මළ පැනපු “හෑස් තුමා” බස් එකේ ෆුට්බෝඩ් එකට බැහැලා රියදුරු අයියගේ මව්පිය ගුණ ගායනා කරන ගමන් දුමක් උර උර ආවේ. ඔන්න මම දැන් පොඩි නැප් එකක් දාගෙන ඉන්න ගමන්.
ඔන්න ඔය වගේ හරි මුරණ්ඩු “අණත්දෙන” සේවකයෝ තමා අපිට උන්නේ. අන්තිමට කවුරුහරි අවම බලය පාවිච්චි කරවලා “චු බරයි අයියේ... අන්න අර කඩේ ගාව බස් එක නතර කරන්න කියලා” දැඩි ලෙස අවවාද කරවලාලු බස් එක නතර කරවගෙන තියෙන්නේ. නින්ද ගිහින් තිබ්බ නිසා සම්පුර්ණ සිද්ධියම දැක බලා ගන්න මට බැරිඋනා. බස් එක නතර කරලා “බැහැපන් මචං” කියල කිව්වම තමයි මම දැක්කේ බස් එක නතර කරලා කියලා. මම හිතුවේ බස් එක කොහේහරි හැප්පිලා නතරවෙලා කියලා. අන්තිමට අපි පාගපු ඇති රැල්ලකුත් නැහැ. චු කලෙත් නැහැ, ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඇවිත් බස් එකට නැගලා එන්න පිටත් උනා. ඒ තරම් හොඳ ළමයි අපි.

ඉතිං ඔන්න දැන් වන්නි මටයි පෙරාටයි කතා කරලා අතට සල්ලිත් දීලා කිව්වේ ඒ සද්කාර්යයට අවශ්‍ය පහසුකම් සපයන්න කියල. සද්කාර්යය කියල කිව්වේ රියදුරු මහත්තැන්ටයි ගෝලයාටයි දොළපිදේනි දෙන වැඩේ. ඉබ්බා දියේ දාද්දි ඇන්නෑවේ කිව්වලු. අපි දෙන්න ශේප් එකේ ගිහින් බස් අයියල දෙන්නව හම්බ උනා. “ශේප් එකේ ගියේ වෙන මුකුත් නිසා නෙමෙයි ආන්ටි සූ කෙරෙහි පෙරා ගේ තිබු බලවත් භක්තිය නිසා”. අපි රියදුරු මහත්තැන් ගාවට ගොහිං “අයියේ මෙන්න මේකයි සීන් එක” කියල කට ගන්න හම්බ උනේ නැහැ, බස් එක තනියම ස්ටාර්ට් උනාද කොහෙද. අපේ එකෙක් මැරෙන්න පණ අදිනවා කියල කිව්වත් ඒ බස් එක ඔච්චර ඉක්මනට ස්ටාට් වෙන එකක් නැහැ.

ඔන්න දැන් අපි ඉස්සරහ දැල් එහෙම ගහල තියෙන, නීතිය අනුව පිටිපස්සෙන් දොරක් ජනේල තියෙන්න බැරි, ඇතුල්වීම සහ පිටවීම දෙකම ඉස්සරහ දොරෙන් පමණක් කළයුතු වර්ගයේ තැනකට ගිහිං අදාළ ජාතියෙන් අපි හතර දෙනාට ඇති පදමෙන් අරගෙන ආව. සැර අඩු කරන වර්ගයේ එව්වද, හපන එව්වද ඔක්කොම ගෙනාවා.
අපි කැම්පස් එකට එද්දී අර කිව්ව මොකක්ද එක පටන් අරගෙන තිබුන. ඒකට එහෙම යන්න ඇරලා අපි අපේ වැඩේ පටන් ගන්න කියල ඩ්‍රයිවර් අයියලට දීල තිබ්බ කාමරේ පැත්තට හිමීට ගෑටුවා. ටික වෙලාවක් යද්දී ඩ්‍රයිවර් අයියයි ගෝලයයි දෙන්නම පෙරාගේ මචංලා වෙලා ඉවරයි. ඌ එහෙමයි, පෙළක් වෙලාවට කඩේකට ගියාම වේටර කොළුවට “මචං” කියල කියනවා. ඉතින් ඊට පස්සේ ඌට කියල කෑමක් බීමක් ගෙන්න ගන්නවා බොරු. උගේ මෙව්වා එක නළලට යනවා, මේ ගෝතයා කොච්චර කිව්වත් මේ වගේ වැඩ කරලා වැඩ අනනවා. ඒ උගේ උපන්ගෙයි හපන්කම්.

මෙතනනම් දෙයියනේ කියල එහෙම උනේ නැහැ. අපේ වැඩේ අහවර උනාට පස්සේ අපි දෙන්න බොහොම වැදගත් විදිහට නමුත් පොඩ්ඩක් වැනි වැනී ගියා අර වටමේස සාකච්ජාව තියෙන තැනට. වටමේස කියල කිව්වට එතන තිබ්බේ වටපුටු සාකච්ජාවක්. මට දැන් හෝ ගාල නින්ද යනවා. ඉඳල හිටලා ඇහැරුනාම වෙරි මරගාතෙ උනත් මොන මොනවහරි ඇහුව කියලත් මතකයි. ඒ අහපුවානම් මටත් මතක නැහැ. එතන හිටපු උන්ගෙන් බීලා හිටියේ අපි දෙන්න විතරයි, එහෙව් බීපු අපි අහන්න ඕනේ මට්ටමේ ප්‍රශ්න සමහර එව්වෝ අහනවා ඇහුණම අපේ වෙරි නිකම්ම හිඳෙනවා වගේ දැනුන.


එකෙක් අහනවා උන්ගේ ගෙදර වේලිච්ච ලී කොටේක කුරුල්ලෙක් බෙනයක් හදාගෙන හිටියලු. පස්සේ ඒ කොටේ තියෙන තැන වෙනස් කලා හරි, එහෙම නැත්නම් එක දිරල ගියා හරි මොකක්දෝ වෙලා දැන් කොටේ නෑලු. ඒ නිසා දැන් ඌ එන්නේ නැතිලු. ඌ මයිනෙක් විතර සයිස් එකෙක්ලු. ඌ කෑ ගහන්නේ කී... කී... ගාලලු. දැන් උගේ ප්‍රශ්නේ ඒ කුරුල්ලා මොකාද, උගේ නම මොකක්ද කියන එක.
ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මොන සක්කරයටද පුළුවන්. ඕකට උත්තරේ දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරක් වෙන්න පුළුවන්. මේ වගේ එක එක ජාතියේ ප්‍රශ්න වැලයි එතන.
ඔන්න ඔහොම දුක් විඳලා අහක් වෙලා මහ රෑ වෙලා නිදා ගන්න යමු කියද්දී අපේ වෙරි ඔක්කොම වගේ හිඳිලා තිබුනේ, වෙරි බහින්නේ නැද්ද හිනා වෙච්ච තරමට. අන්තිමට බොහොම සන්තෝසයෙන් සාර්ථක දවසක් නිමා කොලා කියන සිතුවිල්ලෙන් නිදා ගන්න පිටත් උනා.

මමයි පෙරයි දෙන්න එක්ක රෑට කාල ඉවර වෙලාද අර වට පුටු සාකච්ජාවට ගියේ, එහෙමත් නැත්නම් ඒක ඉවරවෙලාද කෑම කෑවේ කියල මතක නැහැ. කොහොම උනත් නිදා ගත්තේ බඩගින්නේ නෙමෙයි කියලනම් ෂුවර්.
මෙන්න මේ විදිහට එදා දවස අහවර වෙලා අපි නින්දට වැටුන අපේ ඊළඟ දවසේ ඉලක්කය වුනේ යාල බ්ලොක් 5 වල හදන්න පටන් අරගෙන තිබුන “වෙහෙරගල” ව්‍යාපෘතිය බලන්න යන එක.
මේ ෆොටෝ එකක්වත් මම ගත්තු ඒවා නොවේය. ඒවා සියල්ල මාගේ මිතුරු මිතුරියන් විසින් ගන්නා ලද ඒවාය. අයිතිය උන් සතුය.


ඔන්න එහෙනම් ආපහු හැකි ඉක්මණට ඒ කොටස දාන්නම් මේ තරම් පරක්කු නොවී...