Tuesday 30 September 2014

කතරගම සිතුල්පව්ව 1983 සහ 2014

කලින් පල කරාට පස්සේ ෆොන්ට් වල දෝෂයක් නිසා තිසර සොයුරාගේ මග පෙන්වීම අනුව වෙනසක් කොට කියවීමට හැකි ලෙස වෙනස් කර නැවත පල කල ලිපියකි.

දින වකවානු පැහැදිළිව මතක නැතත් මෙම චාරිකාව සිදු වූයේ වසර 1983 හෝ 1984 වසර අවට කාලයකදී බවට මතකයක් මා සිත තුළ විය. සටහන ලිවීමේදී යම් යම් කරුණු අම්මාගෙන් අසා දැන ගැනීමට සිදු වූයේ එවකට මා අවුරුදු තුනහමාරක පමණ වයසැති පුංචි එකෙකුව සිටීම නිසාය. අම්මාගෙන් අසා දැනගත් කරුණු මගින් සනාථ වූයේ අප මෙම චාරිකාව ගොස් තිබුනේ 1984 සිංහල අවුරුදු සමයෙන් පසුව බවය. මගේ මතක පොත පිරවීමට සමත් වූ මුල්ම චාරිකාව මෙයයි. මෙහි නියම දින වකවානුව අම්මාගේ කිසිවක් නෑරෙන දිනපොතින් නිවැරදිවම උකහා ගැනීමට හැකියාව ඇතැයි මා සිතා සිටියත් අම්මා දිනපොත් ලිවීම පටන් ගෙන ඇත්තේ 1986 වසරේදී බැවින් එම අවස්ථාව මගහැරී ගියේය. නිවැරදි දින වකවානුව මතකයේ නැතත් අද අපිට අහිමි වී ඇති ඒ අව්‍යාජ ගැමි අතීතය ගැන පැවසීමට යමක් මගේ මතකයේ මේ පමණින් හෝ ඉතිරි වී තිබීම සම්බන්ධව සිත තුළ ඇත්තේ දැඩි සතුටකි.

එවකට අප පෙදෙසේ ජනතාවගේ ගමන් පහසුව ප්‍රධාන වශයෙන්ම සපයා දුන්නේ ලංගම බස් රථයන්ය. මෙම තත්ත්වය මා සාමාන්‍ය පෙළ කරන කාලය දක්වාම එලෙසින්ම පැවතුනි. මීට අමතරව පෞද්ගලික බස් රථ සුළු ප්‍රමාණයක් නගර සහ උපනගර ආසන්නව තිබී ඇති අතර ඒවා මගී ප්‍රවාහනය මෙන්ම විනෝද චාරිකා සඳහා පොදුවේ යොදා ගන්නට ඇතැයි සිතිය හැකිය. මාගේ මතකයේ ඇඳුනු මෙම චාරිකාවේ ගමන් පහසුව සපයා දුන් බස් රථය එවැනි පෞද්ගලික බස් රථයක් විය. හොරණ ප්‍රදේශයේ පුද්ගලයකු සතු එම බස් රථය දැනට ඩිපෝ වලින්ද ඉවතට විසි වී ඇති පැරණි පන්නයේ බස් රථයක් බව යාන්තමට වාගේ මතකයේ ඇත. ඇළුමිනියම් පැහැයෙන් සහ තවත් එක් පැහැයකින් එය ඔප් නැංවී තිබුණු බවක් මතකයේ ඇතත් එය හිතළුවක් වන්නටද ඉඩ ඇත. ඩිපෝවකින් ඉවත දැමූ පැරණි බස් රථයක් මිළ දීගෙන අළුත්වැඩියා කරගත් රථයක් බවට අනුමාන කල හැකි මට්ටමේ පැරණි රථයකි එය.


චාරිකාව සංවිධානය කර තිබුනේ අපගේ අසල්වැසියකු වූ ජස්ටින් මාමාගේ බිරිය වූ මැගි නැන්දා විසිනි. ඔවුන් හා මාගේ පිය පාර්ශවයේ තරමක් ළඟ නෑදෑ සම්බන්ධයක්ද විය. එම වකවානුව වන විට ඔවුන් සතුව මාරගහදෙණිය හන්දියේ සිල්ලර බඩු කඩයක් තිබූ අතර එම කඩයෙන් බඩු ගන්නට පැමිණෙන පාරිභෝගික පිරිස සහ ගමේ අසල්වැසි පිරිස වූ අප වැන්නන් ඔවුන්ගේ මෙවැනි චාරිකාවන්හි සාමාජිකත්වය ලබයි. මෙවර සහභාගී වූ පිරිස 40 ක් හෝ 50 ක් පමණ වන්නට ඇත.. මෙවැනි සංවිධනාත්මක වන්දනා ගමනකදී නඩයේ උදවියට කෑම බීම සෑදීම සඳහා හෝ වෙනත් එවැනි කටයුතු සඳහා මහන්සි වීමට සිදු නොවීම එහි වූ එක් වාසියක් විය. කෑම බීම පිසීම සඳහා දෙතුන් දෙනෙකු ගෙනයනු ලබන්නේ නොම්ලේ වන අතර ඔවුනටද වන්දනා ගමන අඩුපාඩුවක් නැතිව විඳ ගැනීමට අවස්ථාව උදා වේ. එවකට ගැමි සමාජයේ පැවති බැඳීම් වැඩි වීම සඳහා මෙවැනි ගමන් උපකාරී වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.


නඩේගුරා විසින් නඩය වෙත ඇවැසි පහසුකම් සපයා දීමට බැඳී සිටි අතර එයට ගාස්තුවක් වශයෙන් ඔහු හෝ ඇය චාරිකා සංවිධානයෙන් යම්කිසි ලාබයක්ද ලබා ගැනීම බොහෝ දුරට සිදු වන්නකි. චාරිකාවකදී සාමාන්‍යයෙන් සිදු වන පරිදි උදෑසන ආහාරය තම තමන්ගේ නිවෙස් වලින් සපයා ගත යුතු වූ අතර දිවා ආහාරය සඳහා බත් මුල් කීපයක් බැඳගැනීමද සිදුකළ යුතු විය. මෙම වකවානුව වන විට අප නිවෙස් වලට විදුලි බලය තිබුනේ නැත. එහෙම දෙයක් මේ ලෝකයේ තිඛෙන බවක් හෝ මා දැන සිටියේද නැත. කල්වේලා ඇතිව උදෑසනින් අවදි වූ අම්මා කුප්පි ලාම්පු එළියෙන් ආහාර පිසීම සහ වෙනත් සියළු කටයුතු වලින් සැළකිය යුතු කොටසක් හමාර කර අපව අවදි කලාය. අද මෙන් නොව පුංචි සන්ධියේදී ඕනෑම උදෑසනක අවධි වීම මා හට අපහසු කාරියක් නොවීය. කට සෝදාගෙන හමාර කොට අම්මා සාදාදුන් පිටි කෝප්පය බී හමාර කළපසු වැසිකිළි යාමේ අවශ්‍යතාවය සම්බන්ධ ගැටළුවක් මතු වන්නේද නැත. නමුත් පස්ස සෝදා ගැනීම තනිවම කළ නොහැකි භාරදූර කාර්යයකි. අදාළ කාර්යය හමාර කළපසු ’ඉවරා.......යි’ කියා මහ හඬින් මොර දීමෙන් පසු කවුරුන් හෝ පැමිණ පස්ස පැත්ත සෝදා දෙයි. සමහර දින වලදී කෑ ගැසූ පමණින් කවුරුන් හෝ එන්නේ නැත. කිහිප වතාවක් හෝ කෑ ගසා හැකි ඉක්මණින් කවුරුන් හෝ ගෙන්වාගත යුත්තේ නිකරුනේ වැසිකිළිය තුළ කල් මැරීම පහසු කාරියක් නොවන නිසාය. තනිවම පස්ස සෝදා ගැනීමට හැකි වූ මුල්දිනයේදී සිතේ මහා සතුටක් ඉපදුනි. නමුත් මේ කියන දින වනවිට පස්ස සෝදා ගැනීමට මා කාගේ හෝ පිහිටක් පතන්නට ඇති අතර ඒ කවුදැයි මතකයේ නොමැත.

දත් මැද මුහුණ කට සෝදා හනිකට ලකලෑස්ති වීම දැන් ඉතිරි වී ඇති රාජකාරියයි. දත් මදින විට අම්මාට හෝ අක්කලාට හොරෙන් පැණි රසක් ගෙනදුන් සිග්නල් දත්ඛෙහෙත් ටිකක් ගිළ දැමීමේ පුරුද්දක් කුඩාකල මා හට තිබුනි. දත් මදින මා දෙස හොඳ අවධානයෙන් සිටීම අම්මාගේ හෝ අක්කලාගේ රාජකාරියක් විය. එම දින වල සිග්නල් දත් ඛෙහෙත් ගබඩාකොට තිබුනේ දැන් මෙන් ප්ලාස්ටික් අසුරණ වල නොව තුනී ඇළුමිනියම් අසුරන වලය. අවසාන බිංදුව දක්වා දත් ඛෙහෙහත් ලබා ගැනීමේ හැකියාව එහි විය. නමුත් එය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් නොවීම තුළ ප්ලාස්ටික් අසුරණ වෙත යොමුවීම වඩා සාර්ථක විසඳුමක් බව පිළිගත යුතුය. නමුත් එහිදී වංචනිකව සියළු දත්ඛෙහෙත් ප්‍රමාණය මිරිකා ගත නොහැකි වන සේ දත්ඛෙහෙත් ගලා එන බටයේ කොටසක් ටියුබය තුළ පවතින සේ සැකසීමෙන් භාවිතා කළ නොහැකි ප්‍රමාණයක් එය තුළ රඳවා පාරිභෝගිකයා ලවා විසි කරවීමට ඔවුන් වංචනිකව උත්සාහ දරා ඇති බව මගේ මතයයි. එම කොටස කපාගත් පසු දින කිහිපයක් දත් මැදීමට ප්‍රමාණවත් දත් ඛෙහෙත් ප්‍රමාණයක් ඉන් ලබා ගැනීමට අපහසුවක් නැත. එමෙන්ම දත් බෙහෙත් වෙනුවට අඟුරු ආදේශ කර ගැනීමද බොහෝ දින වල සිදු විය.

විදුලි බලය නොමැති වුවද ඒ වන විටත් අප නිවසේ පාවිච්චි වූයේ නළ මාර්ග හරහා ළිෙඳන් ලබා ගත් නළ ජලයයි. පුදුම වන්නට කාරණයක් නොමැත, කන්ද උඩ පිහිටි ළිෙඳන් සයිපන ක්‍රමය භාවිතයෙන් ජලය ලබා ගැනීමට තාත්තා සමත් වී තිබුනි. එය සිදුවී ඇත්තේ මෙසේය. ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් පසු ඉපදුනු පිරිමි දරුවකු වූ මා ඉපදුන සතුට වෙනුවෙන් නිවසේ සැම ලද තිළිණයකි නළ ජලය. ගේ ළඟම වතුර තිබීම මෙවැනි පාන්දර වේලාවකදී මහත් පහසුවකි. නළ ජලය තිබුනා කීවාට අපට ගේ ඇතුලේ නානාකාමර තිබුනේ නැත. කුස්සිය එළිපත්තේ තිබූ එය වතුර මලක්ද කරාමයකින්ද සමන්විත අඳුරු කුඩා නාන කාමරයකි. නමුත් දිය නෑමේදී අපි වඩා කැමැත්තක් දැක්වූයේ සෝම ඇන්ටිලාගේ ඉඩමේ පිහිටි වතුර උතුරමින් ගලා යන පුංචි ළිදෙන් දිය නෑමටය.

වතුර මල සහිත නාන ගෙයට කළින් එතැන තිබුනේ නානකාමරය තුළ වූ ජල ටැංකියක් වූ අතර එයට වතුර පුරවා ගැනීමට හැකිවන සේ කරාමයක් යොදා තිබූනි. ටැංකියෙන් භාගයක් පමණ හෝ ජලයෙන් පුරවා තැබීම සාමාන්‍ය පුරුද්දක් වී තිබුණි. දිනක් මා එය තුළට ඇදවැටී තිබුනේ එයින් වතුර ටිකක් ගෙන සෙල්ලම් කිරීමට කල උත්සාහයකදී වන්නට ඇත. කකුල්දෙක ඉහළට තිඛෙන පරිදි මූණ වතුරේ එබී සිටි මා හට ඉන් මිදීමට මගක් නොමැතිව දඟළමින් සිට ඇත. අප නිවසේ තිබූ කුඩා වැඩපලේ සිටි කවුරුන් හෝ මාගේ සෙළවෙන කකුල් දෙක දැක ඇති අතර වහා පැමිණ මා ඔසවාගෙන ඇත. වාසනාවකට මෙන් මා හට වතුර පෙවී නොතිබූ බවත්, සිදුවීම දැනගත් තාත්තා එදිනම ටැංකිය කඩා දමා ඇති අතර පසුව එහි වතුර මලක් සවි කිරීමට කටයුතු කල බව අම්මා පැවැසුවාය. 

ගමනක් පිටත් වීමට පෙර ඕනෑම පාන්දරක වතුර වීදුරුවක් බීමෙන් පසු වැසිකිළි යාමේ හැකියාවද, ඕනෑම පාන්දරක රාත්‍රී ආහාරයෙන් පසු ඉතිරි වී ඇති හීල්බත් පිඟානක් කා ගමනක් ආරම්භ කිරීමේ හැකියාව නිසා අතරමග තිබෙන කඩවල ඇති අපිරිසිදු සහ බඩ දඟළවන ආහාර මත යැපීමේ අවශ්‍යතාවයක් මතු නොවේ. නමුත් දැන් බත් සහ හොදි උයන්නේ මැටි බඳුන් වල නොවීමත් ඉතිරි ආහාර ශීතකරණය තුළට දැමීම නිසා මා අපහසුතාවයට පත්වන අවස්ථාද දුළබ නොවේ. එමෙන්ම ගමනක් බිමනක් යාමේදී බත්මුල් බැඳගෙන යාම දැන් සිදු වන්නේම නැති තරම්ය. මොනතරම් අවාසනාවක්ද.?

ප්‍රධාන මාතෘකාවෙන් පිට පැනීම සම්බන්ධව සමාව...........

බත්මුල් කිහිපයක් බැඳගෙන ඇඳුම් කැඩුම් ඇසිරූ බෑගයද රැගෙන අප නිවසින් මීටර පණහක් පමණ එපිටින් පිහිටි මැගි නැන්දලාගේ ගෙදරට පා නැගීමු. අප එහි යන විට මා දන්නා මුහුණු කිහිපයකින්ද නොදන්නා මුහුණු විශාල ගණනකින්ද බස් රථය පිරී තිබුණි. ටික වේලාවකට පසු විශාල හඬකින් නිකුත් කල සාධු නාදයක් සමගින් ගමන ආරම්භ විය. පාන්දර පහට පිටත් වීමට යොදාගෙන තිබූ ගමන පිටත් වූයේ පහයි තිහට පමජය. ඛෙල්ලන පන්සල, කළුතර බෝධිය සහ අළුත්ගම පිහිටි කන්දෙවිහාරය වැඳ පුදාගත් අප අළුත්ගමින් තරමක් එහායින් වූ මුහුදු වෙරළේ ඉඩකඩ ඇති තැනකදී උදෑසන ආහාරය අනුභව කළෙමු. එතැන් සිට කතරගම දක්වා වූ ගමනේදී හමු වන සියළුම ප්‍රසිද්ධ පන්සල් වන්දනාමාන කිරීම එකක් නෑර සිදු විය. වෙහෙරහේන වැවුරුකන්නල ආදී සියළුම වන්දනා ස්ථාන අප නඩයේ වන්දනාවට පාත්‍ර විය. එසේ නතර කළ එක් තැනකදී දිවා ආහාර වේල ලබාගත් අතර කලින් දැනුම් දී තිබූ අයුරු සියල්ලෝම තම තමන්ගේ ආහාර වේල් රැගෙනවිත් තිබිණි. බසයේ රියදුරු මහතා සහ සහායක ලෙස කටයුතු කළ දෙදෙනා විසින් සෑම වන්දනා ස්ථානයකම විස්තර නඩයේ සැමට විස්තර කරදුන්නේ කිසිම ලෝභ කමකින් තොරවය.


දැන් කාලයේ මෙන් එකල ගමන් බිමන් පිටත් වීමට පෙර නවාතැන් වෙන් කරවා ගැනීමේ ක්‍රමයක් ගැමි සමාජය තුළ වර්ධනය වී නොතිබුනි. එනිසාම වන්දනා කරුවන් සඳහා ඉදිකර තිබූ පොදු විශ්‍රාමශාලා මගින් අනගි මෙහෙයක් ඉටු විය. අප විසින් නවාතැන් ගනු ලැබූවේ දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ වූ අතර එය දැනුදු වන්දනාකරුවන් අතර ඛෙහෙවින් ප්‍රසිද්ධ නවාතැන් පළකි. සෑම තැනකම පාහේ නතර කරමින් ගිය නිසාවෙන් අප කතරගමට ළඟා වනවිට බොහෝ සවස් වී තිබුණි.


අප චාරිකාව පිටත් වී තිබුනේ එම පළාතේ පමණක් නොව මුළු රටේම පාහේ දැඩි නියඟයක් මෙන්ම අධික ජල හිගයක්ද තිබූ අවධියකදීය. නියඟය ආරම්භ වී තිබුනේ කළින් වසරේදීය එනම් 1983 වසරේදීය. එක දිගටම මාස හයක්, හතක් පමණ වැසි නොලැබ රටේ බොහෝ පෙදෙස් කර්කෂ වී තිබිණි. එම වසරේ සිංහල අවුරුදු චාරිත්‍රයක් වන ළිඳ සමග ගණුදෙනු කිරීමට පවා නොහැකි වන අයුරින් අප ඉඩමේ පිහිටි කුඩා ළිඳ පවා සිඳී ගිය බව අම්මා පැවසුවාය.


කෑමට යමක් සොයමින් ඉබාගාතේ ඇවිදින ගව රංචු කතරගම පුරා සුළභ දසුනක් විය. මාගේ පුංචි මනසට මතක ඇති පරිදි බැලූ බැලූ හැමතැනම පාහේ දුඹුරු පැහැයෙන් යුක්ත විය. තණකොළ මැරී කෑමට දෙයක් නොමැති හෙයින් රංචු පිටින් පැමිණි ඇට පෑදුනු ගවයින් වන්දනාකරුවන් විසින් ඉවත දමන බත් හෝ වෙනත් කෑමට හැකි අපද්‍රවය ආහාරයට ගනිමින් දුක්බර අවධියක් ගත කළ බව පැහැදිළිව පෙනෙන්නට තිබිණි. ජීව්තයේ ප්‍රථම වතාවට බත් කන හරකුන් මා දුටවේ එදාය. ගවයින් බත් සහ කඩදාසි කැබළි වැනි දෑ කන දර්ශනය අප සැමටම අපූරු දර්ශනයක් විය. තෙත් කළාපයේ සශී්‍රක පෙදෙසකින් එහි පැමිණි අපහට එය අරුමයක් වූයේ කිසිම නියඟයකට අප පෙදෙසේ තිබූ කොළ පැහැය උදුරා ගැනීම පහසු කාර්යයක් නොවන නිසා විය යුතුය. අදද එම මතකය අපූරුවට මාගේ මනසේ ඇඳී ඇත. බත් පමණක් නොව කඩදාසි පවා කමින් උන් ගෙව්වේ සුව පහසු දිවියක් නොවන බව පැහැදිළිය.


ඒ දුටු දසුන් නිසාවන්දෝ වියළි කලාපයේ කිසියම් කර්කෂ බවක් තිබිය යුතුය යන මතයේ අදටත් මම එල්බ සිටිමි. වැසි වැටෙන විට වියළි කලාපයට යාමට පවා මම අකමැතිය. කොළ පැහැයෙන් දිදුළන වියළි කලාපයට වඩා කුඩාකල මා දුටු සහ වියළි කලාපය මෙලෙස විය යුතුයැයි මා විශ්වාස කරන වියළි කලාපයට මා වඩාත් කැමැත්තෙමි. මා වියළි කලාපයට මහත් ඇල්මක් දක්වන්නේ එහිදී අහසේ දැකිය හැකි පැහැදිළි බවටත් කොතරම් අව්සැර වැටුනත් සෙවනකදී ලදහැකි සිසිළසත් නිසාවෙන් විය හැක. 


අධික ඉඩෝර කාලයක් පැවතියද නඩයක් විසින් අනිවාර්යයෙන්ම පිළිපදින සිරිත් විරිත් අතර වැදගත්ම අංගයක් වූ මැණික් ගෙඟ් ස්නානය කිරීම එලෙසින්ම සිදුවිය. එයද තැන තැන රැඳී පැවති ජල කෙමි වල ගිලී සහ බාල්දි මාර්ගයෙන් සිදු කල කෙටි දිය නෑමක් විය. මාළුන්ගේ පහර දීම් හමුවේ සවස හයත් පසු වී තරමක් අඳුරේ සිදුකල එම දිය නෑම කුඩා මාගේ මතකයේ තදින් රැඳුණි. ගංගාව අවට වටපිටාවේ පැවති අපිරිසිදු භාවය මෙම කාලයට වඩා එදවස වැඩි බව මාගේ අදහසයි. අම්මලා අක්කලා සෑම විටම පාහේ නහය අකුළමින් පසු විය. මිනිසුන් විසින් ගඟ අවට තැන තැන තම ශරීර කෘත්‍යයන් සිදු කිරීමෙන් නැගුනු දුර්ගන්ධය හමුවේ දැන් කාලයේ කුඩා ළමයෙකු පවා එහි ස්නානය කිරීම ප්‍රතික්ෂේප කරනු ඇත. එහෙත් එදවස ගමන් විඩාව සහ පැවති ක්‍රමයට අනුව සියල්ලෝම සැදැහැ සිතින් මැණික් ගෙඟ ස්නානයෙන් සතුටු වූහ. එමෙන්ම එයට එරෙහි වීමක් කිසිවකු අතින් හෝ සිදු නොවීණි. එවක සමාජයේ ගැමියන් තුළ පැවති එම අව්‍යාජ භාවය නිසාම කුඩා මා හට එවන් අපූර්වු අත්දැකීමක් ලබා ගැනීමට ඉඩකඩ සැළසුණි.


එකළ කතරගම සෙල්ලම් බඩු කඩ හෝ විසිතුරු බඩු පිරවූ කඩ තිබූ බවක්ද මා මතකයේ නොමැත. තිබුනානම් අමතක වීමට හේතුවක් හිතා ගන්නටද නොහැක. අද මෙන් නොව එදවස ප්ලාස්ටික් සෙල්ලම් බඩු මුට්ටු සාපේක්ෂව දූළබ මෙන්ම මිළෙන්ද අධික වන්නට ඇත. මෙම චාරිකාව පුරා සෙල්ලම් බඩු කිසිවක් මා හට රැගෙන දුන් බවක්ද මා මතකයේ නැත. කුඩා අප හට සෙල්ලම් බඩු කිසිවක් ලැඛෙන්නේ දෙසැම්බර් මාසයේ ගම් ප්‍රදේශයේ පිහිටි පැරණි සමන් දේවාලය ආශි්‍රතව පැවැත්වෙන මඩු පොළෙන් පමණක් වීම නිසා එහි වෙනසක් දැනෙන්නටද නැත. එදවස අප අතට ලැබුණ හූවෑ නළාවක්, පනින අස්සයෙක්, සමනළයකු පියාපත් ගසන ආකාරයට ක්‍රියා කරන තනි රෝදේ ඛෙලෙක් කරත්තයක් වැනි මහාර්ඝ වස්තූන් අපට ලැඛෙන්නේ අවුරුද්දට එකක් පමණක් වුවද එහි අඩුවක් නොදැනෙන්නේ අප විසින්ම තනා ගන්නා හෝ සොයා ගන්නා නොයෙකුත් වර්ගයේ සෙල්ලම් බඩු නිසාය. රබර් ඇට බඹරය, රබර් ඇට කරත්තය, පරණ බයිසිකල් ටයරය, රිම් එක, ඔට්ටපාළු බෝලය සහ පිත්ත වැනි සෙල්ලම් භාණ්ඩ නිසා අප හට කිසි අඩුවක් නොදැනුණි. ගෙදර යම් යම් ලී බඩු සාදන විට තාවකාලිකව ඉදිවන වඩු මඩුවකින් ඉවත දමන ලී කැබලි, පරණ ඇණ, ස්පි්‍රං, රබර් පටි කැබළි වැනි දෑ පවා විසි කිරීමට නොදී කෙදිනක හෝ අවශ්‍ය වෙතැයි සිතා එකතු කර ගැනීම මාගේ පුරුද්දක් විය. කාලයක් ගිය පසු එයින් යමක් අවශ්‍ය නොවන බව හැඟී ඒවා විසි කිරීමට කරන උත්සාහය සපළ නොවන්නේ එයට හිමිකම් කීමට මල්ලී ඉදිරිපත් වන බැවිනි.


නෑමෙන් අනතුරුව ආපසු නවාතැන්පළ වෙග පැමිණ රාති්‍ර ආහාර වේළ සකසන ආකාරය දෙස බලා සිටියෙමු. ආහාර පිසීම සිදුවූයේ සමපූර්ණයෙන්ම එළිමහනේ වූ අතර ගල් තුනකින් සැදි ළිප් මගින් බතක් සහ සරළ ව්‍යාංජන කිහිපයකින් පිළියෙල කරනතුරු අප මෙන්ම වැඩිහිටි සියල්ලෝම ඉවසිල්ලෙන් බලා සිටියෙමු. ඉවුම් පිහුම් කටයුතු සහ බීමට ඇවැසි වතුර ලොකු බැරල් මගින් රැගෙන ගොස් තිබූ අතර දිවා කාලයේදී කෑමට නතර කල පන්සල් වල තිබූ ළිං වලින් හස් වූ බැරල් පුරවා ගැනීම සිදු කර ගැනීමෙන් ජල පහසුකම් සපයා ගැණුනි. තම තමන්ගේ පවුලේ සාමාජික පිරිසට අවශ්‍ය කරන පිඟන් සහ කෝප්ප වැනි දෑ සියළුම පවුල් විසින් ගෙනවිත් තිබූ අතර ඒවාට ඛෙදාගත් බත් අනුභවය සැනෙකින් ඇරඹිනි. බත් කා හමාර වූ පසු දවසේ කි්‍රයාවන් සියල්ල අවසන් වූ අතර සියල්ලෝම පාහේ තම තමන්ගේ පවුල් වෙනුවෙන් වෙන්කරගත් ස්ථාන කරා පියමන් කළෝය. සියල්ලට පෙර අප වැනි කුඩාවුන් නිදි කරවීම අම්මලාගේ ප්‍රධාන රාජකාරිය විය.


පසුදින උදෑසනින් අවධි වී කතරගම දේවාලයේ පූජාවට සහභාගී වීම සැමගේ අරමුණ විය. මුහුන කට සෝදා ගැනීම සහ අනෙකුත් ශරීර අවශ්‍යතා සඳහා ජලය ලබාගත හැකි ළිඳක් හෝ වෙනයම් ක්‍රීමවේදයක් එහි තිඛෙන්නට ඇති අතර නලජලය නොතිබුන බව සහතික කොට පැවසුවේ අම්මා විසිනි. උදේ පූජාවට සහභාගී වීමෙන් අනතුරුව උදෑසන ආහාර වේල ලබා ගැනීම සිදු විය. අස්පස් කිරීම් සහ බඩුමුට්ටු පොදිබැඳ ගැනීමෙන් පසුව සිතුල්පව්ව වෙහෙර බලා යන ගමන ඇරඹුනි.


සිතුල්පව්ව දක්වා යන ගමනේ දී අතර මගදී එක් වරම මාගේ ඇසට හසුව නිමේශයකින් අතුරුදන් වූ විශාල මුව රංචුව මා දුටු අමතක නොවන විසිතුරු දසුනකි. කවුරුන් හෝ ’අන්න මුව රංචුවක්’ කියන විට ඒ දෙස බැලු මා හට දකින්ට ලැබුනේ තරමක් දුරින් අප දෙස බලා සිට පැන දිවීමට තැත්දරණ මුව රංචුවකි. ජීවිතයේ පළමු වතාවට මුවන් දුටුවේ එසේය. මුව රංචුවක් දුටු බවට මතකයේ තිබුනත් මා සිතා සිටියේ එම චාරිකාවේදී අප යාල වනෝද්‍යානය නැරඹීමට යන්නට ඇතැයි සහ මුවන් දුටුවේ එහිදී වන්නට ඇතැයි කියාය. එම ජවනිකාව දුටුවේ සිතුල්පව්ව බැලීමට යන විටදී බවට මාගේ මතකය නිවැරදි කරන ලද්දේ අප නිවසේ වැඩිහිටි කවුරුන් හෝ විසිනි. නමුත් යාල සහ සිතුල්පව්ව යනු එකම වනගහණයක් බව දැන් මා දනී. එම රංචුවේ මුවන් බොහෝ සංඛ්‍යාවක් සිටි අතර අපගේ බස් රථය දුටු විගස මද වේලාවක් කුතුහලයෙන් මෙන් බලා සිට මා දැන සිටි උපරිම වේගයටත් වඩා වැඩි වේගයකින් පලා ගිය අයුරු දැනුදු සිහිකල හැකිය. මුවන් පැන දිවූ කැලෑ මණ්ඩිය සහ උන් නතරව හුන් තණපිටිය නියගය මධ්‍යයේ වුවද තරමක් දුරට කොළ පැහැය රැකගෙන උන්නාය.

වැඩසිටි කන්ද නැගීමේදී අප අත තිබූ දෑ උදුරාගෙන යාමට තරම් එඩිතර වූ වූ රිළා රංචුව කුඩා අප පමණක් නොව වැඩිහිටියන් පවා බිය වැද්දීමට සමත් විය. මගේ අතේ තිබූ කිසියම් කෑම වර්ගයක් උදුරාගෙන දිවූ මහ විශාල රිළවෙක් නිසා බියපත් වූ මා අම්මාගේ සායේ එල්ලී ඒ අනතුරෙන් මිදුනි.

එදවස හැටියට අප ගම් ප්‍රදේශයේ සිට යෑමට සහ ඒමට ඇති කිලෝමීටර 600 කට අධික දුරක් යෑමට එවැනි පැරණි බස් රථයක් යොදා ගැනීම අරුමයක් නොවනන්ට ඇත. අධික වේගයෙන් ධාවනය නොකිරීම සහ මග නතර කරමින් යන වන්දනා ගමන් නිසා එතරම් කරදරයකින් තොරව සහ ආරක්ෂිතව එම පැරණි රථ තම කාර්යය ඉටු කරන්නට ඇත.


ආපසු ගමනේදී අම්මා සමග වාඩි වී සිටි අසුන ආසන්නයේ බිම තිබූ සිදුරක් හරහා මගේ කුඩා සෙරෙප්පුවක් කොහේටදෝ අතුරුදන් වී ගියේය. එය ආපසු එන්නේ නැති බව මා තේරුම් ගත්තේ මද වෙලාවකට පසුවය. එය අතුරුදන් වීම සම්බන්ධව ඇති වූ පුදුමය නිසාවෙන් එම සිදුවීම අම්මාට කීමට බොහෝ පමා විය. බසය නතර කළත් සෙරෙප්පුව සොයාගත නොහැකි බව තේරුම්ගත් අම්මා එසේ කරන මෙන් රියදුරු තැනගෙන් ඉල්ලා සිටියේද නැත. නැති වූ සෙරෙප්පුවේ පැහැය ළා රතු බව අම්මා සහ චූටි අක්කා මෑතකදී මතක් කලත් ඒ සම්බන්ධව පැහැදිළි මතකයක් මා හට නොතිබිණි. කෙසේ නමුත් එය නැතිවූවා කියා මා හඬා වැටුනේද නැත. ගෙදරදී දුවපැන නටන විට පවා සෙරෙප්පු පළඳින්නේ නැති බැවින් එවේලේද මා හට වෙනසක් නොවීය.


එම වකවානුවේ තාත්තා අපව පෝෂණය කලේ කුඩා පරිමාණයේ ව්‍යාපාර කටයුත්තක් සිදු කිරීමෙනි. හකුරු සහ කොහේදෝ සිටි නීශ්පාදකයකුගෙන් මිළදී ගන්නා බුල්ටෝ, තලගුලි වැනි දෑ බයිසිකලයෙන් අවට ගම් උපනගර වල ඇති කඩමණ්ඩි වෙත ගෙනගොස් විකිණීම ඒ ව්‍යාපාරයයි. එවකට කුඩා දරුවන්ව සිටි අප හතර දෙනා නඩත්තු කිරීම පවා ඔවුනට විශාල අභියෝගයක් වූවාට සැක නැත. කුලෑටිකම නිසා නිකරුනේ නැති කරගත් සෙරෙප්පුවක් වෙනුවෙන් අළුත් සෙරෙප්පු ජෝඩුවක් ගැනීමට මුදල් වියදම් කිරීම අමතර වධයක් වූවාට සැක නැත. නැවත මා හට සෙරෙප්පු ජෝඩුවක් ලැබුනේ කවදාදැයි කිව හැකි මතකයක් නැත්තේ සෙරෙප්පු යනු අපගේ එදිනෙදා භාවිත වන පැළඳුමක් නොවු නිසාය.


එම කාලය වන විට මාගේ දෙමව්පියන් එතරම් හොඳ ආර්ථීක මට්ටමක නොසිටි බව උපකල්පනය කිරීම අපහසු නැත. එසේ තිබියදීත් මෙවැනි චාරිකාවක් අප කැඳවාගෙන යාම කෙතරම් වටනේදැයි මා හට වැටහෙන්නේ දැන්ය. පුංචි අවධියේදී මනසේ ඇෙඳන සිත්තම් වැඩිහිටි වියට පත් වූ විටදී පවා කෙතරම් ආශ්චර්යමත් ලෙස හැෙඟ්දැයි යන්න සිතනා විට එහි අගය තේරුම් ගත හැක. කුඩාකල මතකයේ රැෙඳන දෑ ඇති කරන ගැඹුරු රේඛා මගින් පුද්ගල මාසිකත්වය තුළ පැහැදිළි වෙනස්කම් ඇති කරන බව මාගේ පුද්ගලික අදහසයි.


බාල අවධියේ අපගේ මනස පවිත්‍රව පැහැදිළි බවෙන් යුතු වන අතර එහි නිවැරදි ලෙස නිවැරදි අවධියේ සටහන් තැබීමට දෙමව්පියන් සමත් විය යුතුය යන්න මගේ අදහසයි. මගේ ආදරණීය මව්පියන් එහිදී නිවැරදිව කි්‍රයා කර ඇත. මා අදහස් කරන්නේ දරුවන් රැගෙන රට පුරා යා යුතු බවක් නොවේ. හැකි පමණින් දරුවන්ට දියයුතු ඉගෙනීමක් ලෙසිනි මා මෙය දකින්නේ. එහෙත් මනුෂ්‍ය ස්වභාවයේ ඇති තෘෂ්ණාව නිසාදෝ එදවස මීට වඩා සංචාරයන්හි යෙදීමට හැකි වූවානම් යන සිතුවිල්ල අදටත් මාගේ සිතේ පැළපදියම් වී ඇත. එසේ සිතෙන්නට හේතුව ඒ කාලයට වඩා අද දින වන විට ලංකාවේ බොහෝ ස්ථාන අධික ලෙස විනාශ වී එසේ නොවන අනිකුත් ස්ථාන වෙනස් සංකර (නවීන බව මට හැෙඟන්නේ එලෙසය, මාද එහි කොටසක් වී හමාරය) බවක් දිස් වන සේ පැවතීම විය හැකිය.


මෙම චාරිකාවට සහාභාගි වන විට මා වයස අවුරුදු 3කට මදක් වැඩි වයසක සිටි කුඩා දරුවකු ව සිටීම මාගේ මතක පථය කුඩා වීමට හේතුව විය. නමුත් ඉන් මා ලද සතුට අද දිනයේ එවන් ස්ථාන දහසකට ගියත් ලබා ගන්නට නොහැකි බවට නිසැකය.

මේ 2014 වසරය, අදින් වසර දහයකින්(10) පමණ මෙපිට මා කතරගම ගොස් තිබුණේ නැත. පළමු වතාවෙන් පසුව එනම් අවුරුදූ තිහකින්(30) පමණ සිතුල්පව්වට ගොස් තිබුණේ නැත. සෑම වසරකම දෙසැම්බරයේ කතරගම බලා යන චාරිකාව නවතා දැමුවේ සෝම හාමුදුරුවන් දෙසූ බණෙහි අන්තර්ගත වූ යම් යම් කරුණු කාරණා නිසාවෙනි. එසේ කතරගම ගිය කාලයේදී පවා සිතුල්පව්ව බලා යාමේ අදහසක් මතු නොවූයේ මන්දැයි තේරුම්ගත නොහැක.

නමුත් පහුගිය වසර තුන හතර පුරා වසරකට අඩුම වශයෙන් වාර තුන හතරක් හෝ කතරගමට කිලෝමීටර 20 ක පමණ ආසන්නයට වෙනත් පෞද්ගලික කාරණා සඳහා ගොස් දින ගණන් නතර වී ආපසු පැමිණ ඇත. එසේ තිබියදීත් කතරගම හෝ ඒ අවට කිසිම ස්ථානයක් නැරඹීමට යන සිතක් මා හට නොවීය. එවැන්නකට සිතේ එකළාසයක් නොතිබීම එයට හේතුව විය හැකිය.

2014 ජූලි මස 12 සහ 13 යන නිවාඩු දින දෙකේ පෙරසේම යම් කටයුත්තක් සඳහා වීරවිල බලා යාම මාගේ සැළසුම විය. ඒ අතරේ එම දින දෙක තුළදීම දළදා වහන්සේ වැඳපුදා ගැනීමට නුවර බලා යාමට බිරිඳ යෝජනා කළාය. මා යායුතු කටයුත්තේ ඇති වැදගත්කම අනුව වීරවිල ගමන කල් දැමීමද කළ නොහැක. නුවර ගමන පසුවට කල්දමා වීරවිල ගොස් ඒ හරහා කතරගම සහ සිතුල්පව්ව යාමේ දෙවන සැළසුමක් මාගේ පාර්ශවයෙන් ඉදිරිපත් විය. සැළසුමට එකඟතාවය වහා පළවූයේ ඇය සිතුල්පව්ව මීට පෙර දැකබලාගෙන නොතිබීම නිසාය. එම මටද අදාළ වන්නේ කුඩා කල සිතුල්පව්ව බැලීමට ගියද සිතුල්පව්ව ගිය බවට කිසිදු පැහැදිළි මතකයක් මා සතුවද නොවූ නිසාය. අවුරුද්දක් වයස පුංචි පුතු, බිරිඳ සහ ඇයගේ මව්පියන් සමග කතරගම සහ සිතුල්පව්ව යන චාරිකාවක් සැළසුම් වන්නේ ඉන් අනතුරුවය. ජූලි මස 11 වැනි දින රාතී්‍ර 2 ට පමණ නිවසින් පිටත් වුයේ දුර ගමන් යාමේදී අධික වාහන තදබදයට හසුනොවී ඉක්මනින් ගමනාන්තය බලා යා හැකි බැවිනි. පාන්දර 6 පමණ වන විට වීරවිල පිහිටි හිතවතකුගේ නිවසක් කරා ළඟා වීමු. එහි පැය දෙකක තුනක පමණ කාල සීමාවක් විඩා හැර දහවල් වෙද්දී කතරගම බලා යාමට පිටත් වීම අපගේ අරමුණ විය. බිරිඳ සහ නැන්දම්මා විසින් පුංචි පුතා වෙනුවෙන් සිදු කරනු ලැබූ ශබ්ධ පූජාව හමුවේ රාති්‍රය පුරා නිදිවර්ජිතව රිය පැදවූ මා හට නින්දත් නොනින්දත් අතරේ ගත කරන්නට සිදුවීම මහත් බාධාවක් විය. ඒ පැය එකහමාරක පමණ කාලය තුළ මා තවත් හෙම්බත් වී සිටියෙමි.


කතරගම පෙරහැර මංගල්ලය මෙම දිනවල පැවැත්වෙන බව අප දැනගත්තේ කළින් දිනයේදීය. මෙදින පොහොය දින වූ අතර කතරගම මහා පෙරහැර මංගල්‍යය පැවැත්වීමටද කටයුතු සූදානම්ව පැවතුනේද එදිනය. පෙරහැර බැලීමට රැස්වූ සහ රැස් වෙමින් පවතින මහා ජන ගංගාව හමුවේ දේවාලය කරා ළඟාවීම ඉතා දුෂ්කර කාර්යයක් විය. ඉතා අපහසුවෙන් රියගාලක ඉඩක් සොයා වාහනය නතර කර ඒ අසළම වූ කඩයෙන් පළතුරු වට්ටියක් මිළදී ගත්තේ රථයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් යම් පමණකින් හෝ දායක කර ගැනීමේ අරමුණද සිතේ දරාගෙනය. තරමක් බරසාර පළතුරු වට්ටියක් ඔසවාගෙන දේවාල භූමිය කරා පා නගන්නට පටන් ගතිමු. මහ දේවාලයේ පූජාවකට සහභාගී වීම සිහිනයක් මෙන් පෙනුණේ එහි සිටි මහා සෙනග කන්දරාවත් පෝලිම් කිහිපයත් දුටු පසුවය.


කෙසේ හෝ අප රැගෙන ගිය පූජා වට්ටිය පහළ දේවාලය නම් වූ කුඩා දේවාලය වෙත ගොස් පූජා කිරීමට මා පමණක් පිටත් විය. බිරිඳ දරුවා ඇතුළු අපගේ කුඩා නඩය මා එනතුරු අසළ වූ සෙවනක් බලා පියමන් කලහ. මේ වන විට පූජා වට්ටිය ඔසවාගෙන සිටීමෙන් අත්දෙක මැන්ඩලින් ගසන මට්ටමකට පත් වී තිබුනි. කුඩා දේවාලයේ සෙනග තරමක් අඩු වුවත් සෙනග අතරින් පොරකා ගොස් පූජා වට්ටිය පූජා කිරීම පහසු කාරියක් නොවීය. කුඩා දේවාලයෙන් පිටත්ව නඩය නතරව සිටි සෙවනට පැමිණ ආපසු ගමන් අරඹන විට අප සියල්ලෝම හොඳහැටි හෙම්බත් වී හමාරය. වාහනය නතර කළ තැනට දේවාලයේ සිට කිලෝමීටර දෙකකට වැඩි මිස අඩු නොවීය. දිවා ආහාරය ගැනීමට තැනක් සොයා ගැනීම ඊළඟ අභියෝගය විය. ඒ වන විට වේලාව පස්වරු 3 ට පමණ ආසන්නය. අධික මාර්ග තදබදය හමුවේ එහාමෙහා ගොස් කෑම ඇති කඩයක් සොයා ගැනීම මටනම් මහා ජයග්‍රහණයක් මෙන් දැනුණි. අනතුරුව මා යම් පමණකට සතුටට පත් වූ සහ සෙස්සන් අසතුටට පත් වූ බත් වේළකින් සප්පායම් වී සිතුල්පව්ව බලා යාමට පිටත් විය.


එම චාරිකාවේ යෙදූනු මා ඉන් ලද සතුට එදා (1984) මෙන් නොව ඉතා අල්ප වූ බවක් සිතට දැනුනේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිළිව කීම අපහසුය. මුළු පාර පුරාම කිසිවක් දකින්නට නොහැකි අයුරින් දුහුවිල්ලෙන් වැසී ගොස් තිබුනේ ඉදිරියෙන් යන වාහන නිසා ඉපිලෙන දුහුවිල්ලෙනි. සියළුම ගස් සහ පැළැටි තද රතු පැහැයෙන් වර්ණ ගැනීව තිබුනේද එම දුහුවිල්ල නිසාවෙනි. මගදී දුටු මුගටියන් දෙදෙනා හැරෙන්නට වෙන කිසිදු ජීවී ප්‍රාණියෙකු දැක ගන්නටද නොහැකි විය. සීමිත කාල සීමාවක් තුළ විරාමයක් නොලබා රිය පැදවීම, වැඩි දූරක් බර උසුලාගෙන පා ගමනින් ගමන් කිරීමට සිදු වීම, අසීමිත තදබදය සහ කලබලය, අධික වාහන තදබදය, නවීන බවක් දිස්වන පන්සල් සහ දේවාල සංකීර්ණ, අධික දුහුවිල්ල සමග ආ කරදරකාරී සුළඟ (එය සාමාන්‍ය සුළඟක් නොව ලංකාවේ ප්‍රදේශ කිහිපයක මහත් විනාශයක් ගෙන දුන් කුණාටුවක් බව පසුව දැනගන්නට ලැබුණි), යම් යම් නොගැළපෙන ක්‍රීයාවන් නිසා මා සිතේ ඇති වූ සිතුවිළිද විඩාවක් කළකිරීමක් ලෙසින් මා සිතට දැනෙන්නට ඇත. ආපසු ගමනේදී නිමේෂයකදී පෙනී සිට සැඟව ගත් පෘෂ්ටිමත් වළස් පොව්වකු දැක ගැනීමේ භාග්‍යය පමණක් අප සතුවිය. එයින් කියා පෑවේ ඒ පළු ඉදෙන සමය බවය.


පුංචි පුතු සමග ඔහුට තේරෙන වයසකදී වැඩි පිරිසක් සහිත සරළ නඩයක් සමග පැමිණ, විශ්‍රාම ශාලාවක හෝ එවැනි සාමාන්‍ය තැනක නතර වී, වැවක ගඟක බැස නා, නඩයේ පිරිස විසින් උයා පිහාගත් බතක් කා බාලේ මා ලද අත්දැකීම් වලින් පුංචි හෝ කොටසක් ඔහුටත් ලබා දීමට කටයුතු කළ යුතූය යන සිතුවිල්ල සිතේ තිබියදී වීරවිල මිතුරාගේ නිවස බලා ගමන් ඇරඹීමු.


තවත් චාරිකා විස්තරයකින් නැවත හමු වෙමු.



සිතුල්පව්වේදී ගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ...............








Monday 29 September 2014

අතීත මතක චාරිකා - කතරගම සිතුල්පව්ව 1983 සහ 2014

මම මේ කියන්න යන්නේ මගේ ජීවිතේ පුරාවටම කවදාවත් අමතක වෙයි කියල හිතෙන්නේ නැති මතකයක් ගැන;

දින වකවානු පැහැදිළිව මතක නැතත් මෙම චාරිකාව සිදු වූයේ වසර 1983 හෝ 1984 වසර අවට කාලයකදී බවට මතකයක් මා සිත තුළ විය. සටහන ලිවීමේදී යම් යම් කරුණු අම්මාගෙන් අසා දැන ගැනීමට සිදු වූයේ එවකට මා අවුරුදු තුනහමාරක පමණ වයසැති පුංචි එකෙකුව සිටීම නිසාය. අම්මාගෙන් අසා දැනගත් කරුණු මගින් සනාථ වූයේ අප මෙම චාරිකාව ගොස් තිබුනේ 1984 සිංහල අවුරුදු සමයෙන් පසුව බවය. මගේ මතක පොත පිරවීමට සමත් වූ මුල්ම චාරිකාව මෙයයි. මෙහි නියම දින වකවානුව අම්මාගේ කිසිවක් නෑරෙන දිනපොතින් නිවැරදිවම උකහා ගැනීමට හැකියාව ඇතැයි මා සිතා සිටියත් අම්මා දිනපොත් ලිවීම පටන් ගෙන ඇත්තේ 1986 වසරේදී බැවින් එම අවස්ථාව මගහැරී ගියේය. නිවැරදි දින වකවානුව මතකයේ නැතත් අද අපිට අහිමි වී ඇති ඒ අව්‍යාජ ගැමි අතීතය ගැන පැවසීමට යමක් මගේ මතකයේ මේ පමණින් හෝ ඉතිරි වී තිබීම සම්බන්ධව සිත තුළ ඇත්තේ දැඩි සතුටකි.
එවකට අප පෙදෙසේ ජනතාවගේ ගමන් පහසුව ප්‍රධාන වශයෙන්ම සපයා දුන්නේ ලංගම බස් රථයන්ය. මෙම තත්ත්වය මා සාමාන්‍ය පෙළ කරන කාලය දක්වාම එලෙසින්ම පැවතුනි. මීට අමතරව පෞද්ගලික බස් රථ සුළු ප්‍රමාණයක් නගර සහ උපනගර ආසන්නව තිබී ඇති අතර ඒවා මගී ප්‍රවාහනය මෙන්ම විනෝද චාරිකා සඳහා පොදුවේ යොදා ගන්නට ඇතැයි සිතිය හැකිය. මාගේ මතකයේ ඇඳුනු මෙම චාරිකාවේ ගමන් පහසුව සපයා දුන් බස් රථය එවැනි පෞද්ගලික බස් රථයක් විය. හොරණ ප්‍රදේශයේ පුද්ගලයකු සතු එම බස් රථය දැනට ඩිපෝ වලින්ද ඉවතට විසි වී ඇති පැරණි පන්නයේ බස් රථයක් බව යාන්තමට වාගේ මතකයේ ඇත. ඇළුමිනියම් පැහැයෙන් සහ තවත් එක් පැහැයකින් එය ඔප් නැංවී තිබුණු බවක් මතකයේ ඇතත් එය හිතළුවක් වන්නටද ඉඩ ඇත. ඩිපෝවකින් ඉවත දැමූ පැරණි බස් රථයක් මිළ දීගෙන අළුත්වැඩියා කරගත් රථයක් බවට අනුමාන කල හැකි මට්ටමේ පැරණි රථයකි එය.
චාරිකාව සංවිධානය කර තිබුනේ අපගේ අසල්වැසියකු වූ ජස්ටින් මාමාගේ බිරිය වූ මැගි නැන්දා විසිනි. ඔවුන් හා මාගේ පිය පාර්ශවයේ තරමක් ළඟ නෑදෑ සම්බන්ධයක්ද විය. එම වකවානුව වන විට ඔවුන් සතුව මාරගහදෙණිය හන්දියේ සිල්ලර බඩු කඩයක් තිබූ අතර එම කඩයෙන් බඩු ගන්නට පැමිණෙන පාරිභෝගික පිරිස සහ ගමේ අසල්වැසි පිරිස වූ අප වැන්නන් ඔවුන්ගේ මෙවැනි චාරිකාවන්හි සාමාජිකත්වය ලබයි. මෙවර සහභාගී වූ පිරිස 40 ක් හෝ 50 ක් පමණ වන්නට ඇත.. මෙවැනි සංවිධනාත්මක වන්දනා ගමනකදී නඩයේ උදවියට කෑම බීම සෑදීම සඳහා හෝ වෙනත් එවැනි කටයුතු සඳහා මහන්සි වීමට සිදු නොවීම එහි වූ එක් වාසියක් විය. කෑම බීම පිසීම සඳහා දෙතුන් දෙනෙකු ගෙනයනු ලබන්නේ නොම්ලේ වන අතර ඔවුනටද වන්දනා ගමන අඩුපාඩුවක් නැතිව විඳ ගැනීමට අවස්ථාව උදා වේ. එවකට ගැමි සමාජයේ පැවති බැඳීම් වැඩි වීම සඳහා මෙවැනි ගමන් උපකාරී වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නඩේගුරා විසින් නඩය වෙත ඇවැසි පහසුකම් සපයා දීමට බැඳී සිටි අතර එයට ගාස්තුවක් වශයෙන් ඔහු හෝ ඇය චාරිකා සංවිධානයෙන් යම්කිසි ලාබයක්ද ලබා ගැනීම බොහෝ දුරට සිදු වන්නකි. චාරිකාවකදී සාමාන්‍යයෙන් සිදු වන පරිදි උදෑසන ආහාරය තම තමන්ගේ නිවෙස් වලින් සපයා ගත යුතු වූ අතර දිවා ආහාරය සඳහා බත් මුල් කීපයක් බැඳගැනීමද සිදුකළ යුතු විය. මෙම වකවානුව වන විට අප නිවෙස් වලට විදුලි බලය තිබුනේ නැත. එහෙම දෙයක් මේ ලෝකයේ තිඛෙන බවක් හෝ මා දැන සිටියේද නැත. කල්වේලා ඇතිව උදෑසනින් අවදි වූ අම්මා කුප්පි ලාම්පු එළියෙන් ආහාර පිසීම සහ වෙනත් සියළු කටයුතු වලින් සැළකිය යුතු කොටසක් හමාර කර අපව අවදි කලාය. අද මෙන් නොව පුංචි සන්ධියේදී ඕනෑම උදෑසනක අවධි වීම මා හට අපහසු කාරියක් නොවීය. කට සෝදාගෙන හමාර කොට අම්මා සාදාදුන් පිටි කෝප්පය බී හමාර කළපසු වැසිකිළි යාමේ අවශ්‍යතාවය සම්බන්ධ ගැටළුවක් මතු වන්නේද නැත. නමුත් පස්ස සෝදා ගැනීම තනිවම කළ නොහැකි භාරදූර කාර්යයකි. අදාළ කාර්යය හමාර කළපසු ’ඉවරා.......යි’ කියා මහ හඬින් මොර දීමෙන් පසු කවුරුන් හෝ පැමිණ පස්ස පැත්ත සෝදා දෙයි. සමහර දින වලදී කෑ ගැසූ පමණින් කවුරුන් හෝ එන්නේ නැත. කිහිප වතාවක් හෝ කෑ ගසා හැකි ඉක්මණින් කවුරුන් හෝ ගෙන්වාගත යුත්තේ නිකරුනේ වැසිකිළිය තුළ කල් මැරීම පහසු කාරියක් නොවන නිසාය. තනිවම පස්ස සෝදා ගැනීමට හැකි වූ මුල්දිනයේදී සිතේ මහා සතුටක් ඉපදුනි. නමුත් මේ කියන දින වනවිට පස්ස සෝදා ගැනීමට මා කාගේ හෝ පිහිටක් පතන්නට ඇති අතර ඒ කවුදැයි මතකයේ නොමැත.
දත් මැද මුහුණ කට සෝදා හනිකට ලකලෑස්ති වීම දැන් ඉතිරි වී ඇති රාජකාරියයි. දත් මදින විට අම්මාට හෝ අක්කලාට හොරෙන් පැණි රසක් ගෙනදුන් සිග්නල් දත්ඛෙහෙත් ටිකක් ගිළ දැමීමේ පුරුද්දක් කුඩාකල මා හට තිබුනි. දත් මදින මා දෙස හොඳ අවධානයෙන් සිටීම අම්මාගේ හෝ අක්කලාගේ රාජකාරියක් විය. එම දින වල සිග්නල් දත් ඛෙහෙත් ගබඩාකොට තිබුනේ දැන් මෙන් ප්ලාස්ටික් අසුරණ වල නොව තුනී ඇළුමිනියම් අසුරන වලය. අවසාන බිංදුව දක්වා දත් ඛෙහෙහත් ලබා ගැනීමේ හැකියාව එහි විය. නමුත් එය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් නොවීම තුළ ප්ලාස්ටික් අසුරණ වෙත යොමුවීම වඩා සාර්ථක විසඳුමක් බව පිළිගත යුතුය. නමුත් එහිදී වංචනිකව සියළු දත්ඛෙහෙත් ප්‍රමාණය මිරිකා ගත නොහැකි වන සේ දත්ඛෙහෙත් ගලා එන බටයේ කොටසක් ටියුබය තුළ පවතින සේ සැකසීමෙන් භාවිතා කළ නොහැකි ප්‍රමාණයක් එය තුළ රඳවා පාරිභෝගිකයා ලවා විසි කරවීමට ඔවුන් වංචනිකව උත්සාහ දරා ඇති බව මගේ මතයයි. එම කොටස කපාගත් පසු දින කිහිපයක් දත් මැදීමට ප්‍රමාණවත් දත් ඛෙහෙත් ප්‍රමාණයක් ඉන් ලබා ගැනීමට අපහසුවක් නැත. එමෙන්ම දත් බෙහෙත් වෙනුවට අඟුරු ආදේශ කර ගැනීමද බොහෝ දින වල සිදු විය.
විදුලි බලය නොමැති වුවද ඒ වන විටත් අප නිවසේ පාවිච්චි වූයේ නළ මාර්ග හරහා ළිෙඳන් ලබා ගත් නළ ජලයයි. පුදුම වන්නට කාරණයක් නොමැත, කන්ද උඩ පිහිටි ළිෙඳන් සයිපන ක්‍රමය භාවිතයෙන් ජලය ලබා ගැනීමට තාත්තා සමත් වී තිබුනි. එය සිදුවී ඇත්තේ මෙසේය. ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් පසු ඉපදුනු පිරිමි දරුවකු වූ මා ඉපදුන සතුට වෙනුවෙන් නිවසේ සැම ලද තිළිණයකි නළ ජලය. ගේ ළඟම වතුර තිබීම මෙවැනි පාන්දර වේලාවකදී මහත් පහසුවකි. නළ ජලය තිබුනා කීවාට අපට ගේ ඇතුලේ නානාකාමර තිබුනේ නැත. කුස්සිය එළිපත්තේ තිබූ එය වතුර මලක්ද කරාමයකින්ද සමන්විත අඳුරු කුඩා නාන කාමරයකි. නමුත් දිය නෑමේදී අපි වඩා කැමැත්තක් දැක්වූයේ සෝම ඇන්ටිලාගේ ඉඩමේ පිහිටි වතුර උතුරමින් ගලා යන පුංචි ළිදෙන් දිය නෑමටය.
වතුර මල සහිත නාන ගෙයට කළින් එතැන තිබුනේ නානකාමරය තුළ වූ ජල ටැංකියක් වූ අතර එයට වතුර පුරවා ගැනීමට හැකිවන සේ කරාමයක් යොදා තිබූනි. ටැංකියෙන් භාගයක් පමණ හෝ ජලයෙන් පුරවා තැබීම සාමාන්‍ය පුරුද්දක් වී තිබුණි. දිනක් මා එය තුළට ඇදවැටී තිබුනේ එයින් වතුර ටිකක් ගෙන සෙල්ලම් කිරීමට කල උත්සාහයකදී වන්නට ඇත. කකුල්දෙක ඉහළට තිඛෙන පරිදි මූණ වතුරේ එබී සිටි මා හට ඉන් මිදීමට මගක් නොමැතිව දඟළමින් සිට ඇත. අප නිවසේ තිබූ කුඩා වැඩපලේ සිටි කවුරුන් හෝ මාගේ සෙළවෙන කකුල් දෙක දැක ඇති අතර වහා පැමිණ මා ඔසවාගෙන ඇත. වාසනාවකට මෙන් මා හට වතුර පෙවී නොතිබූ බවත්, සිදුවීම දැනගත් තාත්තා එදිනම ටැංකිය කඩා දමා ඇති අතර පසුව එහි වතුර මලක් සවි කිරීමට කටයුතු කල බව අම්මා පැවැසුවාය. 

ගමනක් පිටත් වීමට පෙර ඕනෑම පාන්දරක වතුර වීදුරුවක් බීමෙන් පසු වැසිකිළි යාමේ හැකියාවද, ඕනෑම පාන්දරක රාත්‍රී ආහාරයෙන් පසු ඉතිරි වී ඇති හීල්බත් පිඟානක් කා ගමනක් ආරම්භ කිරීමේ හැකියාව නිසා අතරමග තිබෙන කඩවල ඇති අපිරිසිදු සහ බඩ දඟළවන ආහාර මත යැපීමේ අවශ්‍යතාවයක් මතු නොවේ. නමුත් දැන් බත් සහ හොදි උයන්නේ මැටි බඳුන් වල නොවීමත් ඉතිරි ආහාර ශීතකරණය තුළට දැමීම නිසා මා අපහසුතාවයට පත්වන අවස්ථාද දුළබ නොවේ. එමෙන්ම ගමනක් බිමනක් යාමේදී බත්මුල් බැඳගෙන යාම දැන් සිදු වන්නේම නැති තරම්ය. මොනතරම් අවාසනාවක්ද.?
ප්‍රධාන මාතෘකාවෙන් පිට පැනීම සම්බන්ධව සමාව...........
බත්මුල් කිහිපයක් බැඳගෙන ඇඳුම් කැඩුම් ඇසිරූ බෑගයද රැගෙන අප නිවසින් මීටර පණහක් පමණ එපිටින් පිහිටි මැගි නැන්දලාගේ ගෙදරට පා නැගීමු. අප එහි යන විට මා දන්නා මුහුණු කිහිපයකින්ද නොදන්නා මුහුණු විශාල ගණනකින්ද බස් රථය පිරී තිබුණි. ටික වේලාවකට පසු විශාල හඬකින් නිකුත් කල සාධු නාදයක් සමගින් ගමන ආරම්භ විය. පාන්දර පහට පිටත් වීමට යොදාගෙන තිබූ ගමන පිටත් වූයේ පහයි තිහට පමජය. ඛෙල්ලන පන්සල, කළුතර බෝධිය සහ අළුත්ගම පිහිටි කන්දෙවිහාරය වැඳ පුදාගත් අප අළුත්ගමින් තරමක් එහායින් වූ මුහුදු වෙරළේ ඉඩකඩ ඇති තැනකදී උදෑසන ආහාරය අනුභව කළෙමු. එතැන් සිට කතරගම දක්වා වූ ගමනේදී හමු වන සියළුම ප්‍රසිද්ධ පන්සල් වන්දනාමාන කිරීම එකක් නෑර සිදු විය. වෙහෙරහේන වැවුරුකන්නල ආදී සියළුම වන්දනා ස්ථාන අප නඩයේ වන්දනාවට පාත්‍ර විය. එසේ නතර කළ එක් තැනකදී දිවා ආහාර වේල ලබාගත් අතර කලින් දැනුම් දී තිබූ අයුරු සියල්ලෝම තම තමන්ගේ ආහාර වේල් රැගෙනවිත් තිබිණි. බසයේ රියදුරු මහතා සහ සහායක ලෙස කටයුතු කළ දෙදෙනා විසින් සෑම වන්දනා ස්ථානයකම විස්තර නඩයේ සැමට විස්තර කරදුන්නේ කිසිම ලෝභ කමකින් තොරවය.
දැන් කාලයේ මෙන් එකල ගමන් බිමන් පිටත් වීමට පෙර නවාතැන් වෙන් කරවා ගැනීමේ ක්‍රමයක් ගැමි සමාජය තුළ වර්ධනය වී නොතිබුනි. එනිසාම වන්දනා කරුවන් සඳහා ඉදිකර තිබූ පොදු විශ්‍රාමශාලා මගින් අනගි මෙහෙයක් ඉටු විය. අප විසින් නවාතැන් ගනු ලැබූවේ දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ වූ අතර එය දැනුදු වන්දනාකරුවන් අතර ඛෙහෙවින් ප්‍රසිද්ධ නවාතැන් පළකි. සෑම තැනකම පාහේ නතර කරමින් ගිය නිසාවෙන් අප කතරගමට ළඟා වනවිට බොහෝ සවස් වී තිබුණි.
අප චාරිකාව පිටත් වී තිබුනේ එම පළාතේ පමණක් නොව මුළු රටේම පාහේ දැඩි නියඟයක් මෙන්ම අධික ජල හිගයක්ද තිබූ අවධියකදීය. නියඟය ආරම්භ වී තිබුනේ කළින් වසරේදීය එනම් 1983 වසරේදීය. එක දිගටම මාස හයක්, හතක් පමණ වැසි නොලැබ රටේ බොහෝ පෙදෙස් කර්කෂ වී තිබිණි. එම වසරේ සිංහල අවුරුදු චාරිත්‍රයක් වන ළිඳ සමග ගණුදෙනු කිරීමට පවා නොහැකි වන අයුරින් අප ඉඩමේ පිහිටි කුඩා ළිඳ පවා සිඳී ගිය බව අම්මා පැවසුවාය.
කෑමට යමක් සොයමින් ඉබාගාතේ ඇවිදින ගව රංචු කතරගම පුරා සුළභ දසුනක් විය. මාගේ පුංචි මනසට මතක ඇති පරිදි බැලූ බැලූ හැමතැනම පාහේ දුඹුරු පැහැයෙන් යුක්ත විය. තණකොළ මැරී කෑමට දෙයක් නොමැති හෙයින් රංචු පිටින් පැමිණි ඇට පෑදුනු ගවයින් වන්දනාකරුවන් විසින් ඉවත දමන බත් හෝ වෙනත් කෑමට හැකි අපද්‍රවය ආහාරයට ගනිමින් දුක්බර අවධියක් ගත කළ බව පැහැදිළිව පෙනෙන්නට තිබිණි. ජීව්තයේ ප්‍රථම වතාවට බත් කන හරකුන් මා දුටවේ එදාය. ගවයින් බත් සහ කඩදාසි කැබළි වැනි දෑ කන දර්ශනය අප සැමටම අපූරු දර්ශනයක් විය. තෙත් කළාපයේ සශී්‍රක පෙදෙසකින් එහි පැමිණි අපහට එය අරුමයක් වූයේ කිසිම නියඟයකට අප පෙදෙසේ තිබූ කොළ පැහැය උදුරා ගැනීම පහසු කාර්යයක් නොවන නිසා විය යුතුය. අදද එම මතකය අපූරුවට මාගේ මනසේ ඇඳී ඇත. බත් පමණක් නොව කඩදාසි පවා කමින් උන් ගෙව්වේ සුව පහසු දිවියක් නොවන බව පැහැදිළිය.
ඒ දුටු දසුන් නිසාවන්දෝ වියළි කලාපයේ කිසියම් කර්කෂ බවක් තිබිය යුතුය යන මතයේ අදටත් මම එල්බ සිටිමි. වැසි වැටෙන විට වියළි කලාපයට යාමට පවා මම අකමැතිය. කොළ පැහැයෙන් දිදුළන වියළි කලාපයට වඩා කුඩාකල මා දුටු සහ වියළි කලාපය මෙලෙස විය යුතුයැයි මා විශ්වාස කරන වියළි කලාපයට මා වඩාත් කැමැත්තෙමි. මා වියළි කලාපයට මහත් ඇල්මක් දක්වන්නේ එහිදී අහසේ දැකිය හැකි පැහැදිළි බවටත් කොතරම් අව්සැර වැටුනත් සෙවනකදී ලදහැකි සිසිළසත් නිසාවෙන් විය හැක. 
අධික ඉඩෝර කාලයක් පැවතියද නඩයක් විසින් අනිවාර්යයෙන්ම පිළිපදින සිරිත් විරිත් අතර වැදගත්ම අංගයක් වූ මැණික් ගෙඟ් ස්නානය කිරීම එලෙසින්ම සිදුවිය. එයද තැන තැන රැඳී පැවති ජල කෙමි වල ගිලී සහ බාල්දි මාර්ගයෙන් සිදු කල කෙටි දිය නෑමක් විය. මාළුන්ගේ පහර දීම් හමුවේ සවස හයත් පසු වී තරමක් අඳුරේ සිදුකල එම දිය නෑම කුඩා මාගේ මතකයේ තදින් රැඳුණි. ගංගාව අවට වටපිටාවේ පැවති අපිරිසිදු භාවය මෙම කාලයට වඩා එදවස වැඩි බව මාගේ අදහසයි. අම්මලා අක්කලා සෑම විටම පාහේ නහය අකුළමින් පසු විය. මිනිසුන් විසින් ගඟ අවට තැන තැන තම ශරීර කෘත්‍යයන් සිදු කිරීමෙන් නැගුනු දුර්ගන්ධය හමුවේ දැන් කාලයේ කුඩා ළමයෙකු පවා එහි ස්නානය කිරීම ප්‍රතික්ෂේප කරනු ඇත. එහෙත් එදවස ගමන් විඩාව සහ පැවති ක්‍රමයට අනුව සියල්ලෝම සැදැහැ සිතින් මැණික් ගෙඟ ස්නානයෙන් සතුටු වූහ. එමෙන්ම එයට එරෙහි වීමක් කිසිවකු අතින් හෝ සිදු නොවීණි. එවක සමාජයේ ගැමියන් තුළ පැවති එම අව්‍යාජ භාවය නිසාම කුඩා මා හට එවන් අපූර්වු අත්දැකීමක් ලබා ගැනීමට ඉඩකඩ සැළසුණි.
එකළ කතරගම සෙල්ලම් බඩු කඩ හෝ විසිතුරු බඩු පිරවූ කඩ තිබූ බවක්ද මා මතකයේ නොමැත. තිබුනානම් අමතක වීමට හේතුවක් හිතා ගන්නටද නොහැක. අද මෙන් නොව එදවස ප්ලාස්ටික් සෙල්ලම් බඩු මුට්ටු සාපේක්ෂව දූළබ මෙන්ම මිළෙන්ද අධික වන්නට ඇත. මෙම චාරිකාව පුරා සෙල්ලම් බඩු කිසිවක් මා හට රැගෙන දුන් බවක්ද මා මතකයේ නැත. කුඩා අප හට සෙල්ලම් බඩු කිසිවක් ලැඛෙන්නේ දෙසැම්බර් මාසයේ ගම් ප්‍රදේශයේ පිහිටි පැරණි සමන් දේවාලය ආශි්‍රතව පැවැත්වෙන මඩු පොළෙන් පමණක් වීම නිසා එහි වෙනසක් දැනෙන්නටද නැත. එදවස අප අතට ලැබුණ හූවෑ නළාවක්, පනින අස්සයෙක්, සමනළයකු පියාපත් ගසන ආකාරයට කී්‍රයා කරන තනි රෝදේ ඛෙලෙක් කරත්තයක් වැනි මහාර්ඝ වස්තූන් අපට ලැඛෙන්නේ අවුරුද්දට එකක් පමණක් වුවද එහි අඩුවක් නොදැනෙන්නේ අප විසින්ම තනා ගන්නා හෝ සොයා ගන්නා නොයෙකුත් වර්ගයේ සෙල්ලම් බඩු නිසාය. රබර් ඇට බඹරය, රබර් ඇට කරත්තය, පරණ බයිසිකල් ටයරය, රිම් එක, ඔට්ටපාළු බෝලය සහ පිත්ත වැනි සෙල්ලම් භාණ්ඩ නිසා අප හට කිසි අඩුවක් නොදැනුණි. ගෙදර යම් යම් ලී බඩු සාදන විට තාවකාලිකව ඉදිවන වඩු මඩුවකින් ඉවත දමන ලී කැබලි, පරණ ඇණ, ස්පි්‍රං, රබර් පටි කැබළි වැනි දෑ පවා විසි කිරීමට නොදී කෙදිනක හෝ අවශ්‍ය වෙතැයි සිතා එකතු කර ගැනීම මාගේ පුරුද්දක් විය. කාලයක් ගිය පසු එයින් යමක් අවශ්‍ය නොවන බව හැඟී ඒවා විසි කිරීමට කරන උත්සාහය සපළ නොවන්නේ එයට හිමිකම් කීමට මල්ලී ඉදිරිපත් වන බැවිනි.
නෑමෙන් අනතුරුව ආපසු නවාතැන්පළ වෙග පැමිණ රාති්‍ර ආහාර වේළ සකසන ආකාරය දෙස බලා සිටියෙමු. ආහාර පිසීම සිදුවූයේ සමපූර්ණයෙන්ම එළිමහනේ වූ අතර ගල් තුනකින් සැදි ළිප් මගින් බතක් සහ සරළ ව්‍යාංජන කිහිපයකින් පිළියෙල කරනතුරු අප මෙන්ම වැඩිහිටි සියල්ලෝම ඉවසිල්ලෙන් බලා සිටියෙමු. ඉවුම් පිහුම් කටයුතු සහ බීමට ඇවැසි වතුර ලොකු බැරල් මගින් රැගෙන ගොස් තිබූ අතර දිවා කාලයේදී කෑමට නතර කල පන්සල් වල තිබූ ළිං වලින් හස් වූ බැරල් පුරවා ගැනීම සිදු කර ගැනීමෙන් ජල පහසුකම් සපයා ගැණුනි. තම තමන්ගේ පවුලේ සාමාජික පිරිසට අවශ්‍ය කරන පිඟන් සහ කෝප්ප වැනි දෑ සියළුම පවුල් විසින් ගෙනවිත් තිබූ අතර ඒවාට ඛෙදාගත් බත් අනුභවය සැනෙකින් ඇරඹිනි. බත් කා හමාර වූ පසු දවසේ කි්‍රයාවන් සියල්ල අවසන් වූ අතර සියල්ලෝම පාහේ තම තමන්ගේ පවුල් වෙනුවෙන් වෙන්කරගත් ස්ථාන කරා පියමන් කළෝය. සියල්ලට පෙර අප වැනි කුඩාවුන් නිදි කරවීම අම්මලාගේ ප්‍රධාන රාජකාරිය විය.
පසුදින උදෑසනින් අවධි වී කතරගම දේවාලයේ පූජාවට සහභාගී වීම සැමගේ අරමුණ විය. මුහුන කට සෝදා ගැනීම සහ අනෙකුත් ශරීර අවශ්‍යතා සඳහා ජලය ලබාගත හැකි ළිඳක් හෝ වෙනයම් ක්‍රීමවේදයක් එහි තිඛෙන්නට ඇති අතර නලජලය නොතිබුන බව සහතික කොට පැවසුවේ අම්මා විසිනි. උදේ පූජාවට සහභාගී වීමෙන් අනතුරුව උදෑසන ආහාර වේල ලබා ගැනීම සිදු විය. අස්පස් කිරීම් සහ බඩුමුට්ටු පොදිබැඳ ගැනීමෙන් පසුව සිතුල්පව්ව වෙහෙර බලා යන ගමන ඇරඹුනි.
සිතුල්පව්ව දක්වා යන ගමනේ දී අතර මගදී එක් වරම මාගේ ඇසට හසුව නිමේශයකින් අතුරුදන් වූ විශාල මුව රංචුව මා දුටු අමතක නොවන විසිතුරු දසුනකි. කවුරුන් හෝ ’අන්න මුව රංචුවක්’ කියන විට ඒ දෙස බැලු මා හට දකින්ට ලැබුනේ තරමක් දුරින් අප දෙස බලා සිට පැන දිවීමට තැත්දරණ මුව රංචුවකි. ජීවිතයේ පළමු වතාවට මුවන් දුටුවේ එසේය. මුව රංචුවක් දුටු බවට මතකයේ තිබුනත් මා සිතා සිටියේ එම චාරිකාවේදී අප යාල වනෝද්‍යානය නැරඹීමට යන්නට ඇතැයි සහ මුවන් දුටුවේ එහිදී වන්නට ඇතැයි කියාය. එම ජවනිකාව දුටුවේ සිතුල්පව්ව බැලීමට යන විටදී බවට මාගේ මතකය නිවැරදි කරන ලද්දේ අප නිවසේ වැඩිහිටි කවුරුන් හෝ විසිනි. නමුත් යාල සහ සිතුල්පව්ව යනු එකම වනගහණයක් බව දැන් මා දනී. එම රංචුවේ මුවන් බොහෝ සංඛ්‍යාවක් සිටි අතර අපගේ බස් රථය දුටු විගස මද වේලාවක් කුතුහලයෙන් මෙන් බලා සිට මා දැන සිටි උපරිම වේගයටත් වඩා වැඩි වේගයකින් පලා ගිය අයුරු දැනුදු සිහිකල හැකිය. මුවන් පැන දිවූ කැලෑ මණ්ඩිය සහ උන් නතරව හුන් තණපිටිය නියගය මධ්‍යයේ වුවද තරමක් දුරට කොළ පැහැය රැකගෙන උන්නාය.
වැඩසිටි කන්ද නැගීමේදී අප අත තිබූ දෑ උදුරාගෙන යාමට තරම් එඩිතර වූ වූ රිළා රංචුව කුඩා අප පමණක් නොව වැඩිහිටියන් පවා බිය වැද්දීමට සමත් විය. මගේ අතේ තිබූ කිසියම් කෑම වර්ගයක් උදුරාගෙන දිවූ මහ විශාල රිළවෙක් නිසා බියපත් වූ මා අම්මාගේ සායේ එල්ලී ඒ අනතුරෙන් මිදුනි.
මෙහිදී මා හට මතක ඇති තවත් වැදගත්ම දෙයක් නම් බස් රථය ගමනේ යෙදෙද්දී මා සතුව තිබූ කුඩා රබර් සෙරෙප්පු දෙකෙන් එකක් බසයේ බිම තිබූ තරමක් ලොකු සිදුරකි්න් බිමට වැටුන සිදු වීමයි. ලී පොළවේ තිබූ සිදුර දෙස කට ඇරගෙන පුදුමයෙන් බලා සිටියා මිස ඒ ගැන අම්මාට කීම පවා මා අතින් බොහෝ ප්‍රමාද විය. බස් රථයේ තත්ත්වය එලෙස විය. සෙරෙප්පුව වැටුනේ කුමන අවස්ථවකදීදැයි මතකයක් මා තුළ නොවීය. අම්මා සහ චූටි අක්කා පසුව පැවසූ පරිදි එය සිදු වී තිබුනේ අප නිවස බලා ආපසු එන ගමනේදීය. එදවස හැටියට අප ගම් ප්‍රදේශයේ සිට යෑමට සහ ඒමට ඇති කිලෝමීටර 600 කට අධික දුරක් යෑමට එවැනි පැරණි බස් රථයක් යොදා ගැනීම අරුමයක් නොවනන්ට ඇත. අධික වේගයෙන් ධාවනය නොකිරීම සහ මග නතර කරමින් යන වන්දනා ගමන් නිසා එතරම් කරදරයකින් තොරව සහ ආරක්ෂිතව එම පැරණි රථ තම කාර්යය ඉටු කරන්නට ඇත.
ආපසු ගමනේදී අම්මා සමග වාඩි වී සිටි අසුන ආසන්නයේ බිම තිබූ සිදුරක් හරහා මගේ කුඩා සෙරෙප්පුවක් කොහේටදෝ අතුරුදන් වී ගියේය. එය ආපසු එන්නේ නැති බව මා තේරුම් ගත්තේ මද වෙලාවකට පසුවය. එය අතුරුදන් වීම සම්බන්ධව ඇති වූ පුදුමය නිසාවෙන් එම සිදුවීම අම්මාට කීමට බොහෝ පමා විය. බසය නතර කළත් සෙරෙප්පුව සොයාගත නොහැකි බව තේරුම්ගත් අම්මා එසේ කරන මෙන් රියදුරු තැනගෙන් ඉල්ලා සිටියේද නැත. නැති වූ සෙරෙප්පුවේ පැහැය ළා රතු බව අම්මා සහ චූටි අක්කා මෑතකදී මතක් කලත් ඒ සම්බන්ධව පැහැදිළි මතකයක් මා හට නොතිබිණි. කෙසේ නමුත් එය නැතිවූවා කියා මා හඬා වැටුනේද නැත. ගෙදරදී දුවපැන නටන විට පවා සෙරෙප්පු පළඳින්නේ නැති බැවින් එවේලේද මා හට වෙනසක් නොවීය.
එම වකවානුවේ තාත්තා අපව පෝෂණය කලේ කුඩා පරිමාණයේ ව්‍යාපාර කටයුත්තක් සිදු කිරීමෙනි. හකුරු සහ කොහේදෝ සිටි නීශ්පාදකයකුගෙන් මිළදී ගන්නා බුල්ටෝ, තලගුලි වැනි දෑ බයිසිකලයෙන් අවට ගම් උපනගර වල ඇති කඩමණ්ඩි වෙත ගෙනගොස් විකිණීම ඒ ව්‍යාපාරයයි. එවකට කුඩා දරුවන්ව සිටි අප හතර දෙනා නඩත්තු කිරීම පවා ඔවුනට විශාල අභියෝගයක් වූවාට සැක නැත. කුලෑටිකම නිසා නිකරුනේ නැති කරගත් සෙරෙප්පුවක් වෙනුවෙන් අළුත් සෙරෙප්පු ජෝඩුවක් ගැනීමට මුදල් වියදම් කිරීම අමතර වධයක් වූවාට සැක නැත. නැවත මා හට සෙරෙප්පු ජෝඩුවක් ලැබුනේ කවදාදැයි කිව හැකි මතකයක් නැත්තේ සෙරෙප්පු යනු අපගේ එදිනෙදා භාවිත වන පැළඳුමක් නොවු නිසාය.

එම කාලය වන විට මාගේ දෙමව්පියන් එතරම් හොඳ ආර්ථීක මට්ටමක නොසිටි බව උපකල්පනය කිරීම අපහසු නැත. එසේ තිබියදීත් මෙවැනි චාරිකාවක් අප කැඳවාගෙන යාම කෙතරම් වටනේදැයි මා හට වැටහෙන්නේ දැන්ය. පුංචි අවධියේදී මනසේ ඇෙඳන සිත්තම් වැඩිහිටි වියට පත් වූ විටදී පවා කෙතරම් ආශ්චර්යමත් ලෙස හැෙඟ්දැයි යන්න සිතනා විට එහි අගය තේරුම් ගත හැක. කුඩාකල මතකයේ රැෙඳන දෑ ඇති කරන ගැඹුරු රේඛා මගින් පුද්ගල මාසිකත්වය තුළ පැහැදිළි වෙනස්කම් ඇති කරන බව මාගේ පුද්ගලික අදහසයි.
බාල අවධියේ අපගේ මනස පවිත්‍රව පැහැදිළි බවෙන් යුතු වන අතර එහි නිවැරදි ලෙස නිවැරදි අවධියේ සටහන් තැබීමට දෙමව්පියන් සමත් විය යුතුය යන්න මගේ අදහසයි. මගේ ආදරණීය මව්පියන් එහිදී නිවැරදිව කි්‍රයා කර ඇත. මා අදහස් කරන්නේ දරුවන් රැගෙන රට පුරා යා යුතු බවක් නොවේ. හැකි පමණින් දරුවන්ට දියයුතු ඉගෙනීමක් ලෙසිනි මා මෙය දකින්නේ. එහෙත් මනුෂ්‍ය ස්වභාවයේ ඇති තෘෂ්ණාව නිසාදෝ එදවස මීට වඩා සංචාරයන්හි යෙදීමට හැකි වූවානම් යන සිතුවිල්ල අදටත් මාගේ සිතේ පැළපදියම් වී ඇත. එසේ සිතෙන්නට හේතුව ඒ කාලයට වඩා අද දින වන විට ලංකාවේ බොහෝ ස්ථාන අධික ලෙස විනාශ වී එසේ නොවන අනිකුත් ස්ථාන වෙනස් සංකර (නවීන බව මට හැෙඟන්නේ එලෙසය, මාද එහි කොටසක් වී හමාරය) බවක් දිස් වන සේ පැවතීම විය හැකිය.

මෙම චාරිකාවට සහාභාගි වන විට මා වයස අවුරුදු 3කට මදක් වැඩි වයසක සිටි කුඩා දරුවකු ව සිටීම මාගේ මතක පථය කුඩා වීමට හේතුව විය. නමුත් ඉන් මා ලද සතුට අද දිනයේ එවන් ස්ථාන දහසකට ගියත් ලබා ගන්නට නොහැකි බවට නිසැකය.

මේ 2014 වසරය, අදින් වසර දහයකින්(10) පමණ මෙපිට මා කතරගම ගොස් තිබුණේ නැත. පළමු වතාවෙන් පසුව එනම් අවුරුදූ තිහකින්(30) පමණ සිතුල්පව්වට ගොස් තිබුණේ නැත. සෑම වසරකම දෙසැම්බරයේ කතරගම බලා යන චාරිකාව නවතා දැමුවේ සෝම හාමුදුරුවන් දෙසූ බණෙහි අන්තර්ගත වූ යම් යම් කරුණු කාරණා නිසාවෙනි. එසේ කතරගම ගිය කාලයේදී පවා සිතුල්පව්ව බලා යාමේ අදහසක් මතු නොවූයේ මන්දැයි තේරුම්ගත නොහැක.
නමුත් පහුගිය වසර තුන හතර පුරා වසරකට අඩුම වශයෙන් වාර තුන හතරක් හෝ කතරගමට කිලෝමීටර 20 ක පමණ ආසන්නයට වෙනත් පෞද්ගලික කාරණා සඳහා ගොස් දින ගණන් නතර වී ආපසු පැමිණ ඇත. එසේ තිබියදීත් කතරගම හෝ ඒ අවට කිසිම ස්ථානයක් නැරඹීමට යන සිතක් මා හට නොවීය. එවැන්නකට සිතේ එකළාසයක් නොතිබීම එයට හේතුව විය හැකිය.
2014 ජූලි මස 12 සහ 13 යන නිවාඩු දින දෙකේ පෙරසේම යම් කටයුත්තක් සඳහා වීරවිල බලා යාම මාගේ සැළසුම විය. ඒ අතරේ එම දින දෙක තුළදීම දළදා වහන්සේ වැඳපුදා ගැනීමට නුවර බලා යාමට බිරිඳ යෝජනා කළාය. මා යායුතු කටයුත්තේ ඇති වැදගත්කම අනුව වීරවිල ගමන කල් දැමීමද කළ නොහැක. නුවර ගමන පසුවට කල්දමා වීරවිල ගොස් ඒ හරහා කතරගම සහ සිතුල්පව්ව යාමේ දෙවන සැළසුමක් මාගේ පාර්ශවයෙන් ඉදිරිපත් විය. සැළසුමට එකඟතාවය වහා පළවූයේ ඇය සිතුල්පව්ව මීට පෙර දැකබලාගෙන නොතිබීම නිසාය. එම මටද අදාළ වන්නේ කුඩා කල සිතුල්පව්ව බැලීමට ගියද සිතුල්පව්ව ගිය බවට කිසිදු පැහැදිළි මතකයක් මා සතුවද නොවූ නිසාය. අවුරුද්දක් වයස පුංචි පුතු, බිරිඳ සහ ඇයගේ මව්පියන් සමග කතරගම සහ සිතුල්පව්ව යන චාරිකාවක් සැළසුම් වන්නේ ඉන් අනතුරුවය. ජූලි මස 11 වැනි දින රාතී්‍ර 2 ට පමණ නිවසින් පිටත් වුයේ දුර ගමන් යාමේදී අධික වාහන තදබදයට හසුනොවී ඉක්මනින් ගමනාන්තය බලා යා හැකි බැවිනි. පාන්දර 6 පමණ වන විට වීරවිල පිහිටි හිතවතකුගේ නිවසක් කරා ළඟා වීමු. එහි පැය දෙකක තුනක පමණ කාල සීමාවක් විඩා හැර දහවල් වෙද්දී කතරගම බලා යාමට පිටත් වීම අපගේ අරමුණ විය. බිරිඳ සහ නැන්දම්මා විසින් පුංචි පුතා වෙනුවෙන් සිදු කරනු ලැබූ ශබ්ධ පූජාව හමුවේ රාති්‍රය පුරා නිදිවර්ජිතව රිය පැදවූ මා හට නින්දත් නොනින්දත් අතරේ ගත කරන්නට සිදුවීම මහත් බාධාවක් විය. ඒ පැය එකහමාරක පමණ කාලය තුළ මා තවත් හෙම්බත් වී සිටියෙමි.
කතරගම පෙරහැර මංගල්ලය මෙම දිනවල පැවැත්වෙන බව අප දැනගත්තේ කළින් දිනයේදීය. මෙදින පොහොය දින වූ අතර කතරගම මහා පෙරහැර මංගල්‍යය පැවැත්වීමටද කටයුතු සූදානම්ව පැවතුනේද එදිනය. පෙරහැර බැලීමට රැස්වූ සහ රැස් වෙමින් පවතින මහා ජන ගංගාව හමුවේ දේවාලය කරා ළඟාවීම ඉතා දුෂ්කර කාර්යයක් විය. ඉතා අපහසුවෙන් රියගාලක ඉඩක් සොයා වාහනය නතර කර ඒ අසළම වූ කඩයෙන් පළතුරු වට්ටියක් මිළදී ගත්තේ රථයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් යම් පමණකින් හෝ දායක කර ගැනීමේ අරමුණද සිතේ දරාගෙනය. තරමක් බරසාර පළතුරු වට්ටියක් ඔසවාගෙන දේවාල භූමිය කරා පා නගන්නට පටන් ගතිමු. මහ දේවාලයේ පූජාවකට සහභාගී වීම සිහිනයක් මෙන් පෙනුණේ එහි සිටි මහා සෙනග කන්දරාවත් පෝලිම් කිහිපයත් දුටු පසුවය.
කෙසේ හෝ අප රැගෙන ගිය පූජා වට්ටිය පහළ දේවාලය නම් වූ කුඩා දේවාලය වෙත ගොස් පූජා කිරීමට මා පමණක් පිටත් විය. බිරිඳ දරුවා ඇතුළු අපගේ කුඩා නඩය මා එනතුරු අසළ වූ සෙවනක් බලා පියමන් කලහ. මේ වන විට පූජා වට්ටිය ඔසවාගෙන සිටීමෙන් අත්දෙක මැන්ඩලින් ගසන මට්ටමකට පත් වී තිබුනි. කුඩා දේවාලයේ සෙනග තරමක් අඩු වුවත් සෙනග අතරින් පොරකා ගොස් පූජා වට්ටිය පූජා කිරීම පහසු කාරියක් නොවීය. කුඩා දේවාලයෙන් පිටත්ව නඩය නතරව සිටි සෙවනට පැමිණ ආපසු ගමන් අරඹන විට අප සියල්ලෝම හොඳහැටි හෙම්බත් වී හමාරය. වාහනය නතර කළ තැනට දේවාලයේ සිට කිලෝමීටර දෙකකට වැඩි මිස අඩු නොවීය. දිවා ආහාරය ගැනීමට තැනක් සොයා ගැනීම ඊළඟ අභියෝගය විය. ඒ වන විට වේලාව පස්වරු 3 ට පමණ ආසන්නය. අධික මාර්ග තදබදය හමුවේ එහාමෙහා ගොස් කෑම ඇති කඩයක් සොයා ගැනීම මටනම් මහා ජයග්‍රහණයක් මෙන් දැනුණි. අනතුරුව මා යම් පමණකට සතුටට පත් වූ සහ සෙස්සන් අසතුටට පත් වූ බත් වේළකින් සප්පායම් වී සිතුල්පව්ව බලා යාමට පිටත් විය.
එම චාරිකාවේ යෙදූනු මා ඉන් ලද සතුට එදා (1984) මෙන් නොව ඉතා අල්ප වූ බවක් සිතට දැනුනේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිළිව කීම අපහසුය. මුළු පාර පුරාම කිසිවක් දකින්නට නොහැකි අයුරින් දුහුවිල්ලෙන් වැසී ගොස් තිබුනේ ඉදිරියෙන් යන වාහන නිසා ඉපිලෙන දුහුවිල්ලෙනි. සියළුම ගස් සහ පැළැටි තද රතු පැහැයෙන් වර්ණ ගැනීව තිබුනේද එම දුහුවිල්ල නිසාවෙනි. මගදී දුටු මුගටියන් දෙදෙනා හැරෙන්නට වෙන කිසිදු ජීවී ප්‍රාණියෙකු දැක ගන්නටද නොහැකි විය. සීමිත කාල සීමාවක් තුළ විරාමයක් නොලබා රිය පැදවීම, වැඩි දූරක් බර උසුලාගෙන පා ගමනින් ගමන් කිරීමට සිදු වීම, අසීමිත තදබදය සහ කලබලය, අධික වාහන තදබදය, නවීන බවක් දිස්වන පන්සල් සහ දේවාල සංකීර්ණ, අධික දුහුවිල්ල සමග ආ කරදරකාරී සුළඟ (එය සාමාන්‍ය සුළඟක් නොව ලංකාවේ ප්‍රදේශ කිහිපයක මහත් විනාශයක් ගෙන දුන් කුණාටුවක් බව පසුව දැනගන්නට ලැබුණි), යම් යම් නොගැළපෙන ක්‍රීයාවන් නිසා මා සිතේ ඇති වූ සිතුවිළිද විඩාවක් කළකිරීමක් ලෙසින් මා සිතට දැනෙන්නට ඇත. ආපසු ගමනේදී නිමේෂයකදී පෙනී සිට සැඟව ගත් පෘෂ්ටිමත් වළස් පොව්වකු දැක ගැනීමේ භාග්‍යය පමණක් අප සතුවිය. එයින් කියා පෑවේ ඒ පළු ඉදෙන සමය බවය.
පුංචි පුතු සමග ඔහුට තේරෙන වයසකදී වැඩි පිරිසක් සහිත සරළ නඩයක් සමග පැමිණ, විශ්‍රාම ශාලාවක හෝ එවැනි සාමාන්‍ය තැනක නතර වී, වැවක ගඟක බැස නා, නඩයේ පිරිස විසින් උයා පිහාගත් බතක් කා බාලේ මා ලද අත්දැකීම් වලින් පුංචි හෝ කොටසක් ඔහුටත් ලබා දීමට කටයුතු කළ යුතූය යන සිතුවිල්ල සිතේ තිබියදී වීරවිල මිතුරාගේ නිවස බලා ගමන් ඇරඹීමු.

තවත් චාරිකා විස්තරයකින් නැවත හමු වෙමු.

සිතුල්පව්වේදී ගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ...............








ප.ලි.
තිසර සහෝදරයාගේ උපදෙස් මත කියවන්න පුළුවන් විදිහට වෙනසක් කලා. තිසර ඔබට මාගේ ප්‍රණාමය.

Sunday 21 September 2014

හුළං ඇල්ල දෙවෙනි කොටස

පළමු කොටස බලපු නැති ය ඉන්නවනම් ගිහින් බලල එමු නේද.

-----------------------------------------------------------------------------------


ඊළඟ දවසේ අපි නැගිටින්නත් කලින් ගුණේ අයිය අපේ වාඩියට ඇවිත් හිටියා. උදේට උයා පිහාගෙන කාලා බත් මුල් එහෙමත් බැඳගෙන දුවිලි ඇල්ල බලන්න යන්න තමයි අපේ දවසේ ප්ලෑන් එක උනේ, දුවිලි ඇල්ල අවට සමනල්ලු බොහොමයක් ඉන්න ලස්සන පරිසර පද්ධතියක් තියෙන නිසා තමයි අපි එහාට යන්න තීරණය කලේ. හැබැයි පාන්දරින් ගමන පිටත් වෙන්න කිසි උවමනාවක් පිරිස අතරේ තිබුනේ නැහැ. ඒ වගේම පොඩි එව්වෝ එහෙමත් ඉන්න නිසා හදිස්සි කරන්නත් බැහැ. නාලා, කාලා සමහරු කාලා නාලා, පොඩි උන්ව හෝදගෙන එහෙම වැඩි කලබලයක් නැතුව අපි ගමන පටන් ගත්තා. ගුණේ අයියත් ආපු නිසා ටිකක් ඉක්මනට බත් උයාගෙන කාලා, දවල්ට කන්න බත්මුල් එහෙමත් බැඳ ගත්තා.

මෙන්න මගේ පරණ දඬුමොණර යන්තරේ
මගේ වාහනේ තියෙන තැනම තියෙන්න ඇරලා සයිට් එකේ කැන්ටර් එකෙන් ගමන යන්න පිටත් උනා. අපි හිටපු තැන ඉඳලා කිලෝමීටර 5 ක් විතර වෙන පාරක ගිහින් ඊට පස්සේ ගඟෙන් එගොඩ වෙලා කිලෝමීටර 10 ක් වගේ දුරක් යන්න ඕනෙලු දුවිලි ඇල්ල ගාවට යන පාර පටන් ගන්න තැනට. එතන ඉඳලත් තව කිලෝමීටර 10ක් වගේ යන්න ඕනෙලු ඇල්ල ගාවට යන්න. අපි එතනට යද්දී පාලිත අයිය අපිට මග පෙන්නන්න ඇවිත් හිටියා. ගඟ ගාවට ඇවිත් අපේ ගල් බොරළු පවුල නතර උනා එතනින් එහාට යන්න අමාරුයි කියලා. උන්ට එතන ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තිබුනේ නැහැ. බිම වාඩියකුයි, ගහක් උඩ හදපු අට්ටාලෙකුයි දෙකක්ම තිබුනා.
ගහ උඩ අට්ටාලෙ සහ ගහ යට වාඩිය
ගඟෙන් එගොඩ වෙලා දුවිලි ඇල්ල බලන්න යන ගමනේ ආරම්භය
උන්ට එහෙම්ම ඉන්න ඇරලා අපිත් ඔන්න ඔහේ හිමීට හිමීට ඉස්සරහට යනවා. අපි මේ යන විදිහට සහ ගමන යන්න පටන් ගත්තු වෙලාවයි අනුව දුවිලි ඇල්ල ගාවට රෑ වෙන්න කළින් ගියත්, රෑ වෙන්න කළින් ආපහු එන්නනම් කොහෙත්ම බැරි බව මට කළින්ම තේරුණා. ඒත් ඉතින් ඒක ප්‍රායෝගිකව අත්විඳිනකම් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ  නැති අපේ බාල සහෝදර පිරිසට ඒක පහදලා දෙන එක හරි අමාරු කාරණයක් උනා. අඩු ගානේ කලින් දවසේ කැලේ මැද්දේ මහ රෑ පොඩි උන්වත් අරගෙන කට්ට කාගෙන පණ නයේ ගිය නඩේ ගැනවත් මුන්ට ඒ වෙද්දී මතක නැහැ. අතරමග නතර වෙච්ච ගල් බොරළු පවුලේ උන්ට කන්න තිබ්බ බත් පාර්සල් ටිකත් අපි අරගෙන ඇවිත් කියල කවුරු හරි වැදගත් හෙළිදරව්වක් කරා. ඊට පස්සේ තවදුරටත් ඉස්සරහට යන එක කරන්න බැරි කමටම තමයි ආපහු හැරෙන්න තීරණය උනේ. ඒ අන්තිම තුරුම්පුවත් තිබ්බේ නැත්නම් වැඩේ හරි අමාරු වෙන්න ඉඩ තිබුනා. ඒ විතරක්නම් මදෑ එදා හවස ගල් බොරළු පවුල ආපහු කොළඹ යන්න ප්ලෑන් කරගෙන හිටියේ, උන් එක්කම මගේ හාමිනෙත් කොළඹ එන්න පිටත් වෙන්න තමයි හිතාන හිටියේ. එයාට නිවාඩු ගන්න විදිහක් නැහැ කියල මට කළින්ම කියල තිබුනේ. කොහොම හරි වටපිටාවේ ෆොටෝ ටිකක් එහෙමත් ගහගෙන දුර්ලභ සමනල වර්ගයක් එහෙමත් බලා ගත්තා.



ආපු පාරේම ආපහු යන එක වැඩක් නැහැ කියල ගඟෙන් එගොඩ වෙලා බොහොම අමාරු පාරකින් තමයි ගල් බොරළු පවුල ඉන්න තැනට ආපහු එද්දි ආවේ. ඒ එන ගමන් සරාගේ ෆෝන් එක ගඟට වැටිලා ඒකෙ කෑලි හොයන්නත් සෑහෙන වෙලාවක් ගත උනා. ඒත් ඒකෙ හවුසින් එකේ කොටසක් හොයා ගන්න ලැබුනේ නැහැ. එතන වතුර පාර ගලන්නේ නැති දිය කඩිත්තක් වගේ තැනක්. ගැඹුරත් උපරිම අඩි එක හමාරක් වගේ ඇති. කොහොම හොයල බැලුවත් ඒක හොයා ගන්න බැරි උනා.
මේ තියෙන වාඩිය අවට ඉඳගෙන තමයි අපි දවල් කෑම කෑවේ
මෙතනින් තමයි බලාගාරයෙන් පිටවෙන වතුර ආපහු ගඟට වැටෙන්නේ 
ගල් බොරළු පවුල හිටපු තැනට ආපු අපි තැන්තැන් වල වාඩිවෙලා බත්මුල් ටික ලිහාගෙන කෑවා. තැනින් තැන ගලාගෙන යන පුංචි දිය පාරවල් වලින් තමයි අපි තිබහ  නිවා ගත්තේ. තවත් ටික වෙලාවක් එතන ඉඳලා අපි කොටස් දෙකට බෙදුනා. කොළඹ යන උදවිය කැන්ටර් එකට නැගලා ගල් බොරළු පවුලේ වාහනේ නතර කරලා ආපු තැනට යන්න පිටත් උනා. ඉතුරු වෙච්ච අපි කීප දෙනා හිමි හිමීට ආපහු වාඩිය තියෙන දිහාට පයින් එන්න පිටත් උනා.
යන එන ගමනේදී වගේම බත් කාල බිව්වෙත් මේ වගේ ගලාගෙන එන වතුර
මම මේ කියපු හරිය බළන්ගොඩ පැත්තේ ගොඩ දෙනෙක් හොඳට දන්නවා, මැණික් වර්ග තරමක් බහුලව හම්බ වෙනවා කියන හරියක්. වන සංරක්ෂණ එකට අයිති කැලෑවක් නිසා මේ හරියේ තියෙන මැණික් තවමත් ඉතුරු වෙලා තියෙනවා කියල තමයි ගොඩ දෙනෙක් කියන්නේ. ඒ නිසාම වටපිටාවේ ඉන්න මිනිස්සු බොහොම රහසිගතව මැණික් ගරන්න මේ පැත්තට එනවා කියලත් අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම ඒ හරියේ අලි විතරක් නෙමෙයි කුළු හරක් එහෙමත් ඉන්නවා කියල ගුණේ අයියල කිව්වා.
අපි නාන්න ගිය වෙලාවෙ අපි එක්ක ගිය සරා මැණික් ගල් හොයනවා කිය කියා ගඟේ වැලි අහුරු අතට අරගෙන මැණික් හොයන්න ගත්තා. ටික වෙලාවකින් ඒක ලෙඩක් වගේ හැමෝම අතරේ පැතිරිලා ගියා. ඇත්තටම ඒ හරියේ රතු පාට වැලි කැට වගේ පුංචිම පුංචි මැණික් ගල් වර්ගයක්නම් හරියට තිබුනා. ගොඩ දෙනෙකුට ගඟේ වැලි අතරේ තිබිල ඒ වගේ ගල් කෑලි හම්බ උනා. ඒවා ඒ තරම් වටින වර්ගයක් නෙමේ කියල තමයි සරා කිව්වේ.  සරා කියපු විදිහට ඒ ගල් වර්ගයේ නම ගාර්නට් වගේ තමයි මතක. ඒ වගේම ඒ අහුල ගත්තු ගල් ටික බලලා ඉවර වෙලා විසි කරලා දැම්මා.
මෙතන තමයි අපි නැවේ සහ සරාගේ මැණික් ගල් මෙහෙයුම කලේ
දවසේ වැඩ කටයුතු
මෙන්න මාළුවා, නම කිව්වට මතක හිටියේ නැහැ. ටිකක් වෙනස් නමක්
එදා හවස් වරුවෙන් සෑහෙන වෙලාවක් ගඟේ නාලා වාඩියට ගොඩ උනා. වාඩියේ නතර වෙලා හිටපු ගුණේ අයියලත් නිකං ඉඳලා තිබුනේ නැහැ. එයාලගේ බෝර ටීම් එකේ අයිය කෙනෙක් යොතක් දාලා පහළ තියෙන පුංචි දිය ඇල්ල වැටෙන මහ වතුර වලෙන් ලොකු මාළුවෙක් අල්ලගෙන තිබුනා. වාඩියට ආපු අපේ ඇස් උඩ ගියේ තඩි මාළුවෙක්ව සියඹලා කිනිත්තකින් කණුවක එල්ලලා තියෙන හැටි දැකලා. ඒ වෙද්දී වෙලාව හවස පහමාරට වගේ ඇති. රෑ කෑම හදන්න ඕනේ කරන වතුර එහෙම ඇදලා කෑම හදන වැඩේ ගුණේ අයියලාගේ මූලිකත්වයෙන් පටන් ගත්තා. ඒ වැඩේ යන විදිහට යන්න ඇරලා මාළු අල්ලන තැනට යන්න මමයි තව එකෙකුයි හිමීට පිටත් උනා. අපි දෙන්න ගල් උඩින් පැන පැන ගඟ දිගේ තමයි ගියේ. ඒ වෙද්දී බිම්කලුවර වැටීගෙන ඇවිත් තිබ්බ නිසා මතක ඇතුව ටෝර්ච් දෙකකුත් අරගෙන ගියා. පැය භාගයක් වගේ එතන ඉඳලා බැළුවා, මාළු අහුවෙන පාටක් නැහැ. අපි නිසා අර මනුස්සයටත් මාළු අහු වෙන්නේ නැති බවක් තමයි පෙන්න තියෙන්නේ. ඒ නිසා හිමීට මාරුවෙලා වාඩිය දිහාට යන්න පිටත් උනා. ඊට පස්සේ අපි දෙන්න අමාරුවෙන් කන්ද නැගලා අඩිපාර දිගේ වාඩියට ගියා. අපි එද්දී ආපු පාර දිගේ ටෝර්ච් එළියකින් පවා ආපහු යන එක අවධානම්. එද්දී ආවේ ගලින් ගලට පැන පැන වගේ. ඒ නිසා කන්ද නැගලා පාරට ඇවිත් දුර පාරකින් තමයි අපි ගියේ. අපි යද්දී රෑ කෑමට හෝ මිරිස් දාපු මාළු හොද්දක් එක්ක තව මොනවද හදල තිබුනා. අපිට අපේ නිදහස විඳගන්න ඉඩ දීලා ගුණේ අයියයි පාලිත අයියයි එයාලගේ තාවකාලික නවාතැන්පොළට පිටත් උනේ බත් මුල් දෙකකුත් එහෙම බැඳගෙන. ඒ වෙද්දී වෙලාව උපරිම රෑ 7 වගේ වෙන්න ඇති.
ගඟ අවට කැලෑව
ඉක්මණට බත් කන්න ඕනේ කියල කාගෙවත් ලොකු උනන්දුවක් තිබුනේ නැහැ. දැන් නඩෙන් ඉතුරු වෙලා ඉන්නේ නම දෙනයි. හඳ පායලා පුදුම ලස්සනකට වටපිටාව දිලිසෙන්න පටන් අරගෙන තිබ්බා. දිය අල්ලේ මුණුමුනුව බිඳුනේ ඉඳහිටල අපි කවුරුහරි කතා කරන සද්දෙකට විතරයි. අපි ඔක්කොම වගේ ගල් තලාව උඩයි වාඩිය අයිනෙයි  සමහරු වාඩිවෙලා සමහරු ඇලවෙලා පුදුම සමාධානයක් වින්ඳා.
මම නැති අතරේ ගෙදරට හොරු පැන්නොත් කියල රට ඉඳල ගෙනාපු වටිනා කියන බඩු මුට්ටු ටික පොත් කබඩ් එක අස්සේ හංගල තියල තමයි මම ආවේ. ඒ වගේම වැඩි ආරක්ෂාවට කියල එයින් එකක් මම එද්දී අරගෙන ආවා. අර බකාඩි කියල වතුර වගේ වර්ගයක් තියෙන්නේ, අන්න එයින් එකක් තමයි මම අරගෙන ඇවිත් තිබුනේ.
මම හිමීට අනිත් උන්ට කිව්වා මගේ බෑග් එකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. මම, සමුරායි, සරා, ශිරෝ කියන අපි හතර දෙනා ගඟේ වතුරයි, ඉතුරුවෙලා තිබ්බ චොකලට් ටිකකුයි එක්ක ඒ සද්කාර්යය පටන් ගත්තා. මගේ ස්ලීපින් බෑග් එක ගල් තලාවේ එළලා වාඩි වෙන්න පොඩි සුව පහසුවක් හදා ගත්තා. ටික වෙලාවකින් චොකලට් ඉවර උනා, ඊට පස්සේ ඉතින් අතට අහුවෙන ඵෑනු ගෙඩියක්, මිරිස් වගේ දේවල් වලින් තමයි වේල පිරිමැහුනේ. රෑට කන්න තියෙන මාළු ටික පරිස්සම් කරගත්තේ බත් එක්ක රස විඳින්න හිතාගෙන. බෝතලේ ටික ටික හිස් වෙද්දී බරපතල සාකච්ඡා කීපයකුත් ඇති උනා. සිදුහත් කුමාරයා ගැන, රාවණා ගැන, මේ වගේ නොයෙකුත් දේවල් සාකච්චා කළා. ඉතුරු උන් පස් දෙනා අපේ බරපතල සාකච්ඡා අහගෙන වාඩිය ඇතුළට වෙලා හිටියා. ඒ එක්කම සරින් සැරේ බක බක ගාල හිනාවෙන සද්දෙත් ඇහුනා. අපි සැලෙයි ඒවට. මේ අතරේ දන්නෙම නැතුව බෝතලේ හිස් උනා.
ඒ රාජකාරිය අහවර වෙලා හීතල වෙලා තිබ්බ බත් ටිකක් බෙදාගෙන කෑවා. අපි බත් කන අතරේ අනිත් උන් ටිකත් එළියට ඇවිත් වල්පල් කතා කරන්න පටන් ගත්තා. බත් කාල ඉවර වෙලා සාකච්ඡා වටයට සහභාගී වෙන ගමන් ස්ලීපින් බෑග් එකේ පොඩ්ඩක් ඇළ උනා විතරයි මතක. පහුවෙනිදා උදේ නැගිටලා බලද්දී මම විතරක් නෙමෙයි සරා සමුරායි ශිරෝ කුරූ අපි සෙට් එකම නිදාගෙන තියෙන්නේ කතා කර කර හිටපු තැන් වලමයි. වාඩිය ඇතුලේ නිදාගෙන තියෙන්නේ ඉතුරු වෙලා හිටපු කෙල්ලෝ දෙන්න විතරයි. අනිත් උන් ඔක්කොම ගල් තලාව උඩ.
ගුණේ අයියාගේ ගල් ආසනය
උදේ වෙද්දී ගුණේ අයියල ඇවිත් හිටියා, ඒ අතරේ කලින් නොදැක්ක අලුත් මුණු කීපයකුත් තිබුනා. ගුණේ අයිය වාඩියට ආපු ගමන් දැක්කේ හිස් බකාඩි බෝතලේ. හිස් බෝතලේ අතට අරගෙන “මහත්තයල අපූරු ජාතියක්නේ පාවිච්චි කරලා තියෙන්නේ” කියල කිව්වා. ඊට පස්සේ අපෙන් ඇහුව ඒ හිස් බෝතලේ බොන වතුර පුරවගන්න තියා ගන්නද කියල. අපිට මොටද හිස් බෝතලයක්. ටික වෙලාවක් යද්දී ඒ බෝතලේට වතුර එකක් පුරවලා වාඩියේ තිබ්බ මේස ලෑල්ල උඩ තියෙනවා දැකගන්න පුළුවන් උනා.
අද සයිට් එකේ වැඩ පටන් ගන්නවා කියන එක අපිට මතක් උනේ ගුණේ අයිය එක්ක ආපු අනිත් මිනිස්සුන්ව දැක්කම. හැමෝම වගේ බොහොම බයාදු විදිහට හිනා වෙලා කතාබහ කළා අපි එක්ක. සයිට් එකේ මහත්තයාගේ යාළුවො කට්ටියක් කියන එක ගුණේ අයිය එයාලට කළින්ම දැනුම් දෙන්න ඇති. උදේට කන්න බත් ටිකකුයි පරිප්පුවකුයි හැදුවේ ගුණේ අයියලා. ඒ අතරේ අපි ගිහින් ශරීර කෘත්‍යය එහෙම කරගෙන, දතකට මැදලා, නාගෙන එහෙම වාඩියට ආවා. සයිට් එකේ මිනිස්සු වැඩ පටන් ගන්න නිසා අපි ටිකක් වේලපහින් එතනින් පිටත් වෙමු කියල තීරණය කලා. මිනිස්සු ආවට පස්සේ එතන තිබ්බ නිදහස් බව ටික ටික නැති වෙනවා කියල හැඟීමක් අපිට ඇති උන නිසා තමයි ඉක්මනට එන්න තීරණය කලේ. බත් ටික කාල ඉවර වෙලා බඩුමුට්ටු ටික අදින්න පටන් ගත්තා. එද්දී ගෙනාපු බඩු ටික උස්සගෙන යන්නත් එපැය. කැමරා, ට්‍රයිපොඩ්, මෙට්ටේ, වතුර බෝතල්, ඇඳුම් මල්ල සහ තව මෙකී නොකී බඩුමුට්ටු තොගයක් එතන තිබ්බා. බඩු ටික අදින්න ගුණේ අයියලගේ ටීම් එකේ උදවියත් සෑහෙන්න උදව් කලා. අන්තිමට බඩුමුට්ටු ටික පැක් කරගෙන ඉවර වෙලා ගුණේ අයියලාගෙන් සමු අරගෙන එහෙම ජීප් එකෙයි කැන්ටර් එකෙයි නැගල ආපසු ගමන පිටත් උනා.
ආපහු එන ගමනේදීත් අපේ යාළුවගේ ක්වාර්ටස් එක ගාව නතර උනේ වටපිටාවේ ෆොටෝ ටිකක් ගහන්න, සමනල්ලු බලන්න සහ විශේෂයෙන්ම දොඩම් ටිකක් හදාගෙන බොන්නත් එක්ක. එතන පැයක් හමාරක් වගේ ඉඳල ආපහු ගමන පටන් ගත්තා. කාර් නතර කරපු ගේ ගාවට එන්නත් පැයක් විතර ගියා. කලින් දවසේ එක වාහනයක් පිටත් උන නිසා දැන් එතන තිබුනේ චමිතගේ කාර් එක විතරයි. එතනට ඇවිත් ඒකත් අරගෙන පඹහින්න හන්දියට ආවා. මුලින්ම ඒ කිට්ටුව පාත ගෙවල් තියෙන චමිතට සමු දුන්නා. ඊට පස්සේ කැන්ටර් එකත් අපි එක්කම ඒ ලඟම තියෙන හන්දියට අරගෙන ගියේ මේ දවස් ටිකේ අපිට සැළකුව ගුණේ අයියට, පාලිත අයියට ඩ්‍රයිවර් අයියට පොඩි සැළකීමක් කරන්න ඕනේ කියන එක හිතේ තියාගෙන. මහලොකු දෙයක් නෙමෙයි, ඒ වගේම ගොඩ දෙනෙක් අනුමත කරන දේකුත් නෙමෙයි ඒත් ඒ වගේ තැනක වැඩ කරද්දී තියෙන තත්ත්වය අපි දන්න නිසා හන්දියේ බාර් එකෙන් ලබා දෙන්න පුළුවන් වර්ගයේ සැළකීමක් කරන්න තමයි අපි තීරණය කලේ. අපේ සැළකීම ගුණේ අයියයි, පාලිත අයියයි අතරේ බෙදාහදා ගන්න කියල ඩ්‍රයිවර් අයියගේ අතට දුන්නා. එතනින් අපේ යාළුවටයි, ඩ්‍රයිවර් අයියටයි සමු දීල ඉතුරු වෙච්ච හය හත් දෙනා මගේ වාහනේට නැගල කොළඹ දිහාවට ගමන පටන් ගත්තා. මගේ වාහනේ යන්න පුළුවන් උපරිම 5 දෙනෙකුට විතරයි. දෙන්නෙක් උකුලවල් උඩ ඉඳගෙන කොහොම හරි ශේප් කරගෙන බලන්ගොඩ දිහාට ගෑටුවා.

මේ වෙද්දී දවල් කෑමටත් වෙලාව කිට්ටු වෙලා තිබුනේ. සමුරායි උන්ගේ ගෙදරට කෝල් කරලා කිව්වා අපිට කෑම හදන්න කියලා. උන්ගේ ගෙවල් තියෙන්නේ බළන්ගොඩ ඉඳල රත්නපුරේ පැත්තට ටික දුරක් යද්දී, අපි යන අතරමගදී වාහනේ යට හරියෙන් මොකක් හරි සද්දයක් ඇහුනා. ටයර් එකේ මොකක් හරි ගෑවෙන සද්දයක් වගේ සද්දයක් තමයි ආවේ. එක පාරක් නතර කරලා බැලුවත් මොකක්ද කියල හොයා ගන්න බැරි උනා. ඕනේ මගුලක් කියල දිගටම ගිහින් සමුරායි ලගේ ගෙදර ටික වෙලාවක් ඉඳලා බත් එහෙම කාලා ආපහු ගමන පටන් ගත්තා. මගදී ඩීසල් ගහන්න ෂෙඩ් එකක වාහනේ පොඩ්ඩක් නතර කලාම තමයි දැනගත්තේ අර සද්දේ ඇවිත් තියෙන්නේ කොහෙන්ද කියලා. වාහනේට නගපු කට්ටිය ටිකක් වැඩි නිසා ටයර් එක ගිහින් ඩීසල් ගැහුවට පස්සේ ටැංකියට එන්න තියෙන රබර් බටේ ගෑවෙන සද්දේ තමයි අපිට ඇහිලා තියෙන්නේ. එහෙම වැදිලා බටේ හිල් වෙලා. ඩීසල් ගහද්දි එතනින් ලීක් වෙන්න ගත්තා. හරි අමාරුවෙන් ඩීසල් ටිකක් ගහගෙන වංගු තියෙන පාරේ එද්දී අර සිදුරෙන් ඩීසල් ලීක් වෙන්න පටන් ගත්තා. කරන්න තිබ්බේ එක දෙයයි. වංගු තියෙන තැන් වලදී වේගේ සෑහෙන ප්‍රමාණයක් අඩු කරලා රත්නපුරේට එනකල් කරදරයක් නැතුව ආවා.
අපේ පිරිසව බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සුවා. එතනින් සියල්ලන්ටම සමු දීලා වාහනේ ආපහු හරවගෙන ගෙදර බලා යන ගමන මම තනියම පිටත් උනා.  කලවාන පාරෙන් ඇවිත් ගෙදරට ගිහින් ඔතාගෙන ආපු කොච්චි පැළ දෙක හෙවනකින් අරගෙන තියලා ගෙදර ආපු බව කියන්න හාමිනේට කෝල් එකක් ගත්තා.

ලොකු අරමුණක් නොතිබ්බ ගමනක් උණාට සෑහෙන අපූරු අත්දැකීම් ගොන්නක් ලබා ගත්තු ගමනක් ඒ විදිහට නිමා උනා. ඒ පරිසරයේ විඳින්න පුළුවන් උපරිම නිදහස කාටවත් කරදරයක් නොවෙන්න විශේෂයෙන් පරිසරයට හානි නොවෙන්න විඳගන්න අපිට පුළුවන් උනා. අපි ගිය පාරේ අවසාන කිලෝමීටරයක වගේ කොටස ඒ දවස් වලදී පාරක් විදිහට පාවිච්චි උණත්, ඒ කොටස අද වෙද්දී බලාගාරෙට වතුර ගලාගෙන යන ඇළ මාර්ගය විදිහට හදල ඉවරයි. කාටහරි ආපහු හුළං ඇල්ලට යනවනම් කැලේ මැද්දෙන් පාරක් හොයාගෙන තමයි යන්න වෙන්නේ. ඒ සයිට් එක ඉවර වෙලා මේ වෙද්දී අවුරුදු දෙකකට වැඩි  කාලයක් වෙනවා. ඒ නිසා මේ වෙද්දී වාඩිය ඉතුරුවෙලා තියෙන්න පුළුවන් කමක් නැහැ. ඉතුරු වෙලා තියෙන්නේ ගුණේ අයියලාගේ වාඩිය සහ වටපිටාව පරිසරය ගැන ලස්සන මතකයන් රැසකුත් එක්ක ගත්තු ෆොටෝ දෙක තුනකුත් විතරයි.


රස විඳීම සඳහා අමතර ෆොටෝ ටිකක්


නෑමට පෙර විවේකයක්
නෑම සහ විවේකය
ගඟෙන එගොඩ උනේ මෙතනින්
කවුරුත් දන්නා බලු නගුට මල්
හතු වර්ගයක්
නොදනී, කොලේ පාටට ගැළපෙන්න ඉන්නේ සතුරන්ගෙන් බේරෙන්න
වාඩියේ ජීවිතේ


Friday 12 September 2014

හුළං ඇල්ල බලන්න කැමතිද....

මේ ගමන ගැන සටහන ලියන්න මුලින්ම පටන් ගත්තේ 2012 අවුරුද්දේ දවසක, එදා මම උණ හැදිලා වැඩට ගියේ නැහැ. ගෙදර ඉන්න ගමන් මට හිතුනා ආපහු බ්ලොග් එකේ වැඩ පටන් ගන්න ඕනේ කියලා. එහෙම හිතලා ලියන්න පටන් ගත්තත් කතාව ලියන එක දවසින් දවස පහු උනා.

කළිනුත් වතාවක කිව්වා වගේ මම ලංකාවට ගොඩ බැස්සේ 2012 අප්‍රේල් 27 වෙනිදා. ආපු දවසේ ඉඳල මම හිත හිතා හිටියේ කාත් එක්ක හරි සෙට් වෙලා ට්‍රිප් ගොඩාක් යන්න ඕනේ කියලා. ටික දවසක් ගියාට පස්සේ අපේ පල්ලෙහා බැච් එකක හිටපු යාළුවෙක් කතා කරලා කිව්වා එයා වැඩ කරන තැන තියෙන්නේ මහ කැලයක් ඇතුලෙ, නතර වෙන්න පහසුකම් එහෙම සලසන්න පුළුවන්, එහෙ එන්න කියල කිව්වා. එහෙම කියල ඒ පැත්ත ගැන, බලන්න තියෙන දේවල් ගැන වරුණාවකුත් කලා. එයා වැඩ කරනවා කිව්වේ බළන්ගොඩ පැත්තේ මහ කැලයක් ඇතුලේ හදාගෙන යන කුඩා ප්‍රමාණයේ ජලවිදුලි බලාගාරයක.  අපි එක්ක කැලෑ ගමන් වල යන දහ පහළොස් දෙනෙකුත් දැන් මේ ගමන යන්න ලක ලෑස්ති උනා.

මේ ගමන පිටත් වෙන්න අපි ප්ලෑන් කලේ 2012 මැයි මාසේ 05 වෙනිදා. ඒ දවස් වෙද්දී මම ජොබ් එකකට යන්න හිතලවත් තිබුනේ නැහැ. අපේ මහ ගෙදරට වෙලා වාහනේ කරන්න තිබ්බ රෙපෙයාර් වැඩ ටිකකුත් කරගෙන පොඩි රස්ති පාරක් එහෙම දාගෙන හිටපු කාලයක්. හමිනේලාගේ ගෙදර ඉඳලා මේ ගමන යන්න පිටත් වෙන එක පහසු නිසා කළින් දවසේ හවස හාමිනේ කොළඹ ඉඳලා රත්නපුරේ තියෙන එයාලගේ මහ ගෙදරට එන්නම් කියල මටත් එහාට එන්න කියල කිව්වා. ගමනට උවමනා වෙයි කියල හිතපු හැම අටමගලක්ම වාහනේට පටවගෙන කලවාන පාරෙන් ගිහින් හවස හය වගේ වෙද්දී එයාලගේ ගෙදරට ගියා. රට ඉඳල එද්දී ගෙනාපු අට්ටලොට්ට එහෙමත් මේ එක්ක වාහනේට දා ගත්තා. මේ ගමන යන්න බළන්ගොඩ කිට්ටුව ගෙවල් තියෙන යාළුවෙකුත් එන්න සෙට් වෙලා හිටියා. උන් කීප දෙනෙක් සිකුරාදා හවස වැඩ ඇරිලා බළන්ගොඩ යන්න පිටත් වෙනවා කියල කළින්ම කිව්වා. ඒ එන වාහනේ එල්ලිලා මගේ හාමිනේත් කොළඹ ඉඳල රත්නපුරේ ගෙදරට එන එක තමයි අපේ ප්ලෑන් එක උනේ, හැබැයි එයාල එද්දී තරමක් රෑ උනා. හාමිනේව ගෙනත් ඇරලවපු අපේ යාළුවො ටික තේ එහෙම කාරිය බීල හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් අපෙන් සමු අරගෙන කෙලින්ම බළන්ගොඩ බලා පිටත් උනා. රත්නපුරේ ඉඳල අපි එක්ක යන්න තව ගෑණු දරුවෙකුත් එනවා කියල කෝල් එකක් දීල තිබ්බා. රෑ එයාට කෝල් එකක් දීල එයා ඉන්න තැන එන්න ඕනේ වෙලාව එහෙම දැනුම් දුන්නා. දැන් ඉතින් දවසේ වැඩ අහවරයි. අපි දෙන්නත් කාල බීල ඉවර වෙලා ගමනට ඕනේ කරන ඇඳුම් පැළඳුම් එහෙම ලෑස්ති කරලා තියල නිදා ගන්න ගියා.

උදේ පාන්දරින් නැගිටලා ලක ලැස්ති වෙලා මගදී කන්න බොන්න අරුමෝසම් කෑම ටිකකුත් අරගෙන බස් ස්ටෑන්ඩ් එක දිහාට ගිහින් අර ළමයවත් එක්කාසු කරගෙන ගමන පිටත් උනා. ඒ වෙද්දී වෙලාව උදේ හයට ටිකක් විතර කිට්ටුයි. අපේ දඬු මොණර යන්තරේ පිහිටෙන් පඹහින්නට යද්දී උදේ අට අටහමාර විතර උනා. අපිට කළින් කණ්ඩායමේ කීප දෙනෙක්ම එතනට ඇවිත් හිටියා. තව කොටසක් මග එන ගමන් කියලත් දුරකථන පණිවුඩ හරහා දැනගන්න ලැබුනා. ටික වෙලාවක් ඉන්නකොට අපේ නඩේ පිරිස සම්පුර්ණ උනා. අපේ නඩේ පිරිස ඔක්කොම දහතුන් දෙනෙක් හිටියා. අපි එක්ක මේ ගමන ගිය අය අතරින් එදාම දැකපු අය හිටියා තුන් හතර දෙනෙක්. ඔක්කොටම වැඩිය අපුරු වැඩේ තමයි අපේ හොඳම යාළුවෙක් ඉන්නවා ගලා කියලා. ඌ ඇවිත් තිබුනේ උගේ අඹු සිඟිත්තයි වයස අවුරුදු 2 ක් වගේ වෙන පොඩි එකයි, බඩේ ඉන්න මාස 5 ක වගේ පොඩි එකෙකුත් එක්ක.
එදා වෙසක් පෝය දවසක්. අපේ යාළුව කියපු විදිහට තව ටිකක් උඩහට වෙන්න මඤ්ඤොක්කා දන්සලක් තියෙනවා, ඒකත් වැඳගෙන කාරිය අපේ ගමන පටන් ගම්මු කියලා යාළුවා යෝජනා කලා. අපි ආපු වාහන වලයි යාළුවගේ සයිට් එකෙන් ආපු කැන්ටර් එකකයි නැගල දන්සල දිහාට යන්න පිටත් උනා. අපි දන්සල ළඟට යද්දී දන්සල හරියට පටන් අරගෙනත් නැහැ. අපි ගියාට පස්සේ තමයි පහන් එහෙම පත්තු කරලා දන්සල පටන් ගත්තේ. මඤ්ඤොක්කා තම්බලා කොච්චි සම්බලයක් හදලා කැන්ද කොළ වල තමයි කන්න තිබුනේ. මදියි නොකියන්න දන්සල වැඳපුදාගෙන මගදී කන්නත් ටිකක් ඔතාගෙන, එතන දන්සල් වඳින්න ආපු සුද්දෝ ටිකකට අපේ සුරතල් මුණු පොඩි ටික ෆොටෝ ගහ ගන්නත් ඉඩ දීලා කාරිය වැදගත් විදිහට ආපහු එන්න පිටත් උනා. එතනින් පඹහින්න හංදියට ඇවිත් පෙරේත කෑම ජාති මොනවා හරි ගන්න ආපහු ටික වෙලාවක් නතර උනා.

එකෙක් මෙලෝ රහකට නැති ජම්බෝල ගෙඩි වගයක් ගත්තා, හොඳටම ඇඹුල රඹුටන්, පරණ වෙච්ච ගඩුගුඩා ගෙඩි වගයක්, මෙන්න මේ වගේ රසවත් කෑම ජාති තමයි අපේ උන් අරගත්තේ. හැබැයි ඉතින් කිසි දෙයක් ඉතුරු උනේ නැහැ. ඒ එක්කම තව උයන්න උවමනා කරන බඩු මුට්ටු එහෙමත් අරගෙන ගමන පිටත් වෙන්නයි දැන් සුදානම. පඹහින්නේ ඉඳලා කැම්පස් එකට යන පාර දිගේ ටික දුරක් ගියාම වම් පැත්තට හැරෙන්න පොඩි ගුරු පාරක් තියෙනවා. ඒ පාරේ තමයිලු අපි යන්න ඕනේ. හැබැයි ඒ පාරේ කාර් යන්න බැහැ. ඔක්කොටම කළින් අපේ උන් ආපු කාර් දෙකක් ඒ කිට්ටුව තියෙන ගෙදරක මිදුලකට දැම්මා.
ඊට පස්සේ කාර් දෙකේ ආපු උදවිය කැන්ටර් එකටයි අපේ දඬුමොණරේටයි නැගගත්තා. ගලා සහ පවුලේ පිරිස ගොඩ උනේ අපේ වාහනේට. අනිත් කීප දෙනා කැන්ටර් එකට නැග ගත්තා. දැන් තමයි අපේ නියම ගමන පටන් ගන්නේ. ඒ පාර දිගේ ටික දුරක් යනකොට වියළි කලාපයේදී දකින්න ඉන්න කුරුල්ලෝ එහෙමත් දකින්න ලැබුනා, ඒ වගේම තෙත් කලාපේ තියෙන සුන්දරත්වයත් ඒ අස්සේ අඩු නැතුව දකින්න තිබුනා. මුලදී පාර තරමක හොඳ මට්ටමක තිබුණත් ටික දුරක් ගියාට පස්සේ හතරගාතෙන් යන වාහන ඇරෙන්න වෙන වාහන ඒ පාරේ යන්න බැහැ. ඒ තරමට කඳු තියෙන බොහොම දුෂ්කර ලස්සන පාරක් තමයි එහාට යද්දී තිබුනේ. කඳු නැග්ම වැඩි උනා වගේම පාරේ පොඩි බොරළු ගතියකුත් තියෙන නිසා රෝද එක තැන කරකැවෙන්න බලනවා. හතරගාතේ දා ගත්තහම ඒ ප්‍රශ්නේ නැහැ, ඒ උනාට හයියෙන් යන්න බැහැ. මේ දුෂ්කර කොටසේ පාර කපල තියෙන්නේ ව්‍යාපෘතිය වෙනුවෙන් නිසා මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අන්තිමට අපේ යාළුවගේ ක්වාටර්ස් එක ගාවට එද්දී වෙලාව 12 ට වගේ කිට්ටු උනා. එතන ටික වෙලාවක් නතර වෙන්න තීරණය කලේ අපේ කට්ටියගේ වැසිකිළි කැසිකිළි අවශ්‍යතා සපුරා ගන්න සහ ගිමන් නිවා ගන්න හිතාගෙන. ඒ අවට මහකැලේ උනාට පවුල් දෙකක් හෝ තුනක් එළවළු වගා කරගෙන ජීවත් වෙනවා. අපි හිටපු තැනම සරුවට වැදුණු වම්බටු වගාවක් තිබුනා. ඒ ළඟ තියෙන ගෙදරට ගියාම මිදුලේ තියෙන පැණි දොඩම් ගහෙන් ඇති තරම් ගෙඩි කඩා ගන්න කිව්වා. පැණි දොඩම් ගෙඩි ටික කුස්සියට අරගෙන ගිහින් කපල, මිරිකලා රස බීමක් හදාගෙන බිව්වට පස්සේ දැනුන සනීපෙ කියල වැඩක් නැහැ.

මේ තියෙන්නේ අපි හදාගෙන බීපු දොඩම් ගහේම ෆොටෝ එකක්
අපි රෑ නතර වෙන්නේ කොහෙද කියන එක ගැන ඒ වෙලාවේ පොඩි කතිකාවතක් ඇති උනා. අපේ යාළුවා කළින්ම කියපු විදිහට එක තැනක් තමයි එයාගේ ක්වාර්ටස් එක, අනිත් තැන තමයි දිය අල්ල ගාව තියෙන වාඩිය. අපිට තෝර ගන්න අවස්ථා දෙකක් තිබුනා. අපි දැන් ඉන්න තැන හිටියොත් කිසි කරදරයක් නැතුව උයා පිහාගෙන කාලා, හොඳට ඇඳක නැගල නිදා ගන්න පුළුවන්. වාඩියට ගියොත් ගල් තලාව උඩ නිදාගෙන කැලේ කොහේ හරි තැනක් වැසිකිළිය විදිහට පාවිච්චි කරගෙන පොඩි පහේ කට්ටක් කන්න වෙනවා. අන්තිමට හැමෝගෙම අදහස උනේ හුළං ඇල්ල ගාව තියෙන වාඩියේ නතර වෙමු කියන එක තමයි. අර බඩදරු මනුස්සයා පවා හිටියේ ඒ මතයේ තමයි. අන්න අදහන්න වටින ගෑනු. අපි ගිය පාරේ සමහර තැන් වල පලංචි වලින් නගින්න බහින්න එහෙමත් තිබුනා. මේ ළමයා ඒ එකක්වත් අත ඇරියේ නැහැ. අපේ ගමනාන්තය වෙච්ච හුළං ඇල්ල ගාව තියෙන වාඩිය දක්වා කිසි කරදරයක් නැතුව බොහොම පරිස්සමට ආවා.
මේ තියෙන්නේ හුළං ඇල්ල, හොඳට පේන ෆොටෝ එකක් ගහන්න පුළුවන් කමක් තිබුනේ නැහැ

ජිවිතේ පළවෙනි වතාවට තමයි හුළං ඇල්ල කියල දිය ඇල්ලක් තියෙනවා කියල දැන ගත්තේ. මෙතන තියෙන විශේෂත්වය තමයි දිය ඇල්ල ගාවම තියෙන ලොකු ගල්ගෙඩියක් උඩ තමයි මේ කියන වාඩිය අටවලා තියෙන්නේ. පොඩි කපොල්ලක් අස්සෙන් වගේ ගිහින් උඩට නැගලා ගිහින් මේ වාඩියට යන්න පුළුවන්. වාඩිය තියෙන ගල් තලාව මහ ලොකු එකක් නෙමෙයි, අඩි 30 ක් විතර දිග අඩි 20 ක් විතර පළල ගලක්. ඒ වගේම දිය ඇල්ල වැටෙන්නේ හරියටම වාඩිය තියෙන ගලේ මුල ආසන්නයට වගේ. උඩට නැග්ගම අපි ඉන්නේ දිය ඇල්ල වැටෙන්න පටන් ගන්න උසට ආසන්න මට්ටමේ උසක. ඒ නිසා වැස්සක් නිසා වතුර වැඩිවෙලා වෙන්න පුළුවන් අවධානමක් එතන නැහැ. පුදුමාකාර ලස්සන වටපිටාවක්, පරිසරයක් තමයි එතන තියෙන්නේ. ඒ වගේම ෆෝන් වලට සිග්නල් නැහැ, කරන්ට් එක නැහැ, වාහන සද්ද බද්ද නැහැ. අඩු ගානේ අපි ආපු වාහන දෙකවත් පේන්න නැහැ. ඒවා නතර කරපු තැන ඉඳලත් සෑහෙන දුරක් පයින් එන්න ඕනේ වාඩිය තියෙන තැනට. ඒ වගේ පරිසරයක විවේකයෙන් දවසක් දෙකක් හරි ඉන්න ලැබෙන එක මොනතරම් වාසනාවක්ද කියල තමයි මට හිතුනෙ.

වාඩිය තෙක් අප ආ දුෂ්කර ගමන


මේ තියෙන්නේ වාඩියට ඇතුල් වෙන පාර
මුලින්ම අපි කලේ දෙතුන් වතාවක් වාහන ගාවටයි වාඩියටයි ගිහින් බඩු මුට්ටු ටික ගෙනියපු එක. වාඩියට යන අඩි පාරත් සෑහෙන්න භයානකයි. අලුතින් කපල දාපු බොරළු පස්, බුරුල් වෙච්ච ගල් එහෙම නිසා බොහොම පරිස්සමින් තමයි යන්න උනේ. මගේ ගාව හුළං පුරවන්න පුළුවන් මෙට්ටයක් තිබුනා. කොයිකටත් කියලා ඒක අරගෙන ආපු එක ලොකු දෙයක් උනා.  ගෑණු දරුවන්ටයි ගල් බොරළු පවුලේ පොඩි එකාටයි ඒක උඩ ඉන්න පුළුවන් විදිහට වාඩිය ඇතුලේ මෙට්ටේ එළලා හුළං පුරවල දුන්නා. වාඩිය ඇතුළේ ලොකු පැදුරු වගයක් තිබුනා. ඒ ටිකත් එළලා කට්ටියටම ඉන්න පුළුවන් විදිහට කල් තියාම ලෑස්ති කර ගත්තා. 

මේ වාඩියේ තමයි මේ ව්‍යාපෘතියේ බෝර දාන උදවිය නවාතැන් අරගෙන ඉන්නේ. අපි ගියේ නිවාඩු දවස් කීපයක් අල්ලලා නිසා සයිට් එකේ මිනිස්සු පඩි අරගෙන ගෙවල් බලා ගිහින් තිබුණා. සයිට් වල සාමාන්‍ය ක්‍රමය අනුව කීප දෙනෙක් නතර වෙලා හිටියා බඩුමුට්ටු වල සහ සයිට් එකේ ආරක්ෂාව වෙනුවෙන්.

වාඩියට ගිහින් වැඩ පටන් ගනිද්දී
අපරාදේ කියන්න බැහැ ඉතුරුවෙලා හිටපු කීපදෙනා අපිට පුදුම සහයෝගයක් දුන්නා. උයාපිහා ගනිද්දී වගේම, අනිත් හැම වැඩකදීමත්. වාඩිය බාරව හිටියේ ගුණේ අයියා, ඒ එක්කම පාලිත අයියත් ඇවිත් දවල් කෑම හදන්න ලෑස්ති කලා. කැන්ටර් එකේ ඩ්‍රයිවර් මහතා අපි එක්ක වැඩි වෙලාවක් හිටියේ නැහැ. ගෙදර ගිහින් හෙට එන්නම් කියල පිටත් උනා. ගුණේ අයියල හදන ව්‍යංජන වර්ග වල පුදුම රසක් සුවඳක් තියෙන්නේ, ඒකට හේතුව “හෝ” මිරිස් කියල එයාල හඳුන්වන කොච්චි ජාතිය දාල තමයි කෑම හදන්නේ. මමත් එන ගමන එයින් පැල දෙකක් අරගෙන ආව ගෙදර. (එයින් එක පැළයක් ගොලුබෙල්ලෝ කාලා විනාශ උනා, අනිත් පැලේ ලොකු මහත් වෙලා කරල් කීපයකුත් හැදුනට පස්සේ අපේ මව් තුමීට එක එක කාලෙට ගස් කොලන් සම්බන්ධව එන අපුරු සිතුවිලි වලට අනුව ගලවලා වෙන තැනක ඉන්දුවට පස්සේ නාටු වෙලා මැරිලා ගිහින් තිබුනා) 

අපි හිටපු වාඩිය ගාවින් ගලන්නේ වළවේ ගඟ. අපි උයන පිහන කටයුතු වලට පාවිච්චි කලේ ගඟේ වතුර. බොන්න පාවිච්චි කලෙත් උණු කරලා නිවා ගත්තු ගඟේ වතුර. වැසිකිළි කැසිකිළි කටයුතු වලදී ගෑනු දරුවෝ පොඩ්ඩක් අපහසුතාවට පත් උනත් කාගෙන්වත් කිසි කම්ප්ලේන් එකක් තිබුනේ නැහැ. බාල්දියට වතුර එකක් අරගෙන කාටවත් නොපෙනෙන කැලෑ රොදකට යන එක තමයි කරන්න තියෙන්නේ. හැමෝම වගේ කිසි අවුලක් නැතුව ඒ තිබුණ තත්වෙට හැඩ ගැහුනා.
දිවා ආහාරය සහ ගිමන් නිවා ගැනීම
වනසැරිය අරඹද්දී
බිං කොහොඹ

දවල් කෑම කාල ටික වෙලාවක් තැන තැන හාන්සි වෙලා එහෙම ඉඳලා හවස 4 කිට්ටු කරලා අපි ආපු පාර දිගේ ටිකක් ඇවිදින්න යමු කියල පිටත් උනා. ඒ යන අතරමගදී දැකපු විශේෂ දෙයක් විදිහට මතක තියෙන්නෙ වටින බෙහෙත් ශාකයක් වෙන බිම් කොහොඹ පැලේ විතරයි. මගදී සමනල්ලු කීප දෙනෙක්ව දැක්කත් හරියකට ෆොටෝ ගහන්න උනේ නැහැ. ඒ වගේම බීඩි ඔතන්න කොළ කඩා ගන්න බීඩි කොළ පැළයක් තිබ්බා පාර අයිනෙම. මේ පැතිවල ඉක්මනට කළුවර වැටෙන නිසා වැඩි වෙලා ඉන්නේ නැතුව ආපහු වාඩියට යන්න තීරණය කලා. හවාස 6 වගේ වෙද්දී අපි ආපහු වාඩියට ආවා. ආලෝකය සීමාසහිත නිසා වැඩිය කළුවර වැටෙන්න කළින් රෑ කෑම උයා පිහා ගන්න එක කරගන්නත් එපායැ.

ගල් තලාවේ කෙළවර ගල් ආසනයේ වාඩි වී බීඩියක් උරන්නේ ගුණේ අයියාය

ගුණේ අයිය අපිට රෑ කෑම හදන්නත් සෑහෙන උදව් කලා. වාඩිය ගාව තිබ්බ වතුර කලේ, බාල්දිය එහෙම හැම තිස්සෙම වතුර වලින් පුරවල තියන්නත් ගුණේ අයිය සෑහෙන උනන්දු උනා. රෑ කෑමට වෙලාව එනකල් ගල් තලාව උඩ ගහපු ගිනි මැලේ වටේ වාඩි වෙලා වල්පල් කතා කර කර හිටියා. වටේට හඳ එළිය වැටිලා පුදුම ලස්සනක් තිබුනේ. වාඩිය ගාවට හඳ එළිය වැටෙන්නේ නැත්තේ එතන හෙවණ කරපු මහ විශාල කෝන් ගහ නිසා. ටික වෙලාවක් එහෙම ඉන්නකොට තරමක් ඈතින් හූ සද්ද වගයක් ඇහුනා. ටික වෙලාවකින් සද්දේ තව ටිකක් වැඩි උනා. ගඟ එහා පැත්තෙන් පොඩි පොඩි එළි වගයකුත් පේන්න ගත්තා. අපිත් එළියට බැහැලා ටෝර්ච් එහෙම ගහලා බැලුවා මොකක්ද මේ වෙන්නේ කියලා. ගඟෙන් එහා පැත්තෙන් මිනිස් නඩයක් යනවා. දූවිලි ඇල්ල බලන්න ගිය ඒ කිට්ටුව පාත නඩයක් කැලේ හරහා යන්න ගිහින් රෑ වෙච්ච නිසා තමයි ඒ කලබලේ ඇති වෙලා තිබුනේ. ෆෝන් වල තියෙන කණාමැදිරි එළියෙන් අලි ඉන්න කැලේ හරහා පොඩි උන්වත් අරගෙන යන එක මොන තරම් භයානකද. අලින්ට බයේ තමයි මෙයාල කෑ ගගහ යන්නේ කියල අපිට තේරුණා. අපි ඉන්න හරියේ එයාල පොඩ්ඩක් නතර වෙලා ගුණේ අයියල එක්ක කතා කළා. දුවිලි ඇල්ල බලන්න ගිහින් කවුරු හරි මෝඩ කමට කියපු නිසා පොඩි ළමයිනුත් අරගෙන මහා කැලේ මැද්දෙන් එද්දී රෑ වෙලා. සමහර ළමයින්ව වඩාගෙන යන තරමට පොඩියි. අපේ පැත්තෙනුත් එයාලට උදව්වක් කරනවා කියල කරන්න දෙයක් තිබුනේ නැහැ. අනිත් එක ඒ නඩේ උදවිය මේ හරියේ කැලෑව ගැන යම් දැනීමක් තියෙන අය බව බව මට හිතුනා. පාර තියෙන ඉසව්ව ගුණේ අයියලාගෙන් හරියටම අහගෙන ඒ මිනිස්සු පිටත් වෙලා ගියේ ආව වගේම කෑ ගගහ සද්ද කර කර. ඔහොම තව ටික වෙලාවක් ඉඳලා බත් එහෙම කාලා නිදා ගන්න ගියා. ආ කියන්න අමතක උනා, ඊට කලින් මම රට ඉඳල එද්දී ගෙනාපු චොකලට් වගයක් මේ ගමන එද්දී අරගෙන ඇවිත් තිබුනා. ඒවා ටික ටික හැමෝටම බෙදල දුන්නා. ඊට පස්සේ තමයි සතුටින් නිදා ගන්න ගියේ.

අපි ආපු නිසා වාඩියේ නියම අයිතිකාරයෝ වෙච්ච ගුණේ අයියලට වෙන නවාතැනක් හොයාගෙන යන්න සිද්ධ උනා. අපි හිටපු තැන ඉඳන් තරමක් එහායින් තව පොඩියට හදපු වාඩියක් තිබුනා මම වාහනේ නතර කරපු තැන. අන්න ඒකෙ තමයි ගුණේ අයිය නතර උනේ. පාලිත අයිය ගෙදර ගිහින් උදෙන් එන්නම් කිව්වා.


පලවෙනි දවසේ අපේ කටයුතු මේ විදිහට හමාර උනා, දෙවෙනි දවසෙන් ඉක්මනටම හම්බ වෙමු.